May 18, 2024

මූලික රෝහලක් නැති ලංකාවේ එකම මහ නගර සභා බල ප්‍රදේශය බණ්ඩාරවෙල

February 22, 2022

බණ්ඩාරවෙල ඇති දිසා රෝහල මූලික රෝහලක් බවට පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

එම යෝජනාවට බණ්ඩාරවෙල මහ නගර සභාවේ පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන් ඒකමතිකව ඡන්දය ලබාදුන් බව බණ්ඩාරවෙළ මහ නගර සභාවේ නගරාධිපති දේශමාන්‍ය ජනක නිශාන්ත රත්නායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (21) බදුල්ලේදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිවරයා

"වර්ෂ 2011දී තමයි බණ්ඩාරවෙල මහ නගර සභාවක් වුණේ. ලංකාවේම මහ නගර සභා 24ක් තියෙනවා. ඉන් මූලික රෝහලක් නොමැති එකම මහ නගර සභාව බණ්ඩාරවෙල මහ නගර සභාවයි. බණ්ඩාරවෙල ප්‍රධාන පාසැල් 9ක් තිබෙනවා. එහි ළමුන් 30000ක් පමණ ඉන්නවා. ඒ වගේම තමයි පිළිගත් ආර්ථික මධ්‍යස්ථානයක් බණ්ඩාරවෙල තිබෙනවා. එම ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව 10000කට ආසන්න පිරිසක් පැමිණෙනවා. ඒ වගේම තමයි දෙස් විදෙස් සංචාරකයින් පවා විශාල වශයෙන් බණ්ඩාරවෙලට පැමිණෙනවා.

මෙවන් විශාල පිරිසක් ගැවසෙන බණ්ඩාරවෙලට මූලික රෝහලක් නොමැතිකම බොහෝ ජනතාවට ගැටලුවක්. දැනට පවතින තත්වය හමුවේ ජනතාව බොහෝ ගැටලු වලට මුහුනපා සිටිනවා. ඇල්ල නගරයේ දී යම් පුද්ගලයෙක් අනතුරකට ලක්වෙලා රෝහල් ගත කරන්න වුනොත් ඔහුව ගෙනියන්න වෙන්නේ දියතලාවට හෝ බදුල්ලටයි. නමුත් ආසන්නතම නගරය වන බණ්ඩාරවෙලට මූලික රෝහලක් ලැබුනොතින් මේ ගැටලු ඇති වන්නේ නැහැ.

ඉතින් මෙම තත්වය තේරුම් ගත්තු මම මගේ යෝජනාවක් හැටියට දිසා රෝහල මූලික රෝහලක් බවට පත්කිරීම සදහා සභාවට යෝජනාව ගෙනආවා. ඒ සදහා සභාවේ පක්ෂ විපක්ෂ සියලූම න්ත්‍රීවරුන් ඡන්දය ලබාදීලා කැමැත්ත ප්‍රකාශ කලා. එය මට සතුටට කාරනාවක්. බණ්ඩාරවෙල නගරයේ වෙළද ව්‍යාපාරිකයින් වගේම පූජ්‍ය පක්ෂයත් මෙම යෝජනාවට එකගතාවය පලකලා. ඒ වගේමයි වතු ජනතාවටත් මේ තුලින් විශාල සේවාවක් ඉටුවනවා.

දැනට පවතින බණ්ඩාරවෙල දිසා රෝහලට අක්කර 28ක් තිබෙනවා. එම ඉඩම් රෝහල සතුයි. ඉතින් අපිට පහසුවෙන්ම මෙම දිසා රෝහල මූලික රෝහලක් බවට පත්කල හැකියි. ඇල්ල සහ බණ්ඩාරවෙල නගර වලට පැමිණෙන සංචාරකයින් සදහාද මෙම මූලික රෝහල ඉදිවීම බොහෝ සෙයින් වැදගත් වේවි.

මේ වන විට අතිගරු ජනාධිපතිතුමන් විසින් බණ්ඩාරවෙල නගර සංවර්ධනයට රුපියල් කෝටි 48ක් ලබාදුන්නා. ඒ තුලින් උමං මාර්ග, පදික වේදිකා, ඇවිදින මංතීරු ඉදිකරමින් විශාල සංවර්ධන ව්‍යාපෘතීන් සිදුකලා. පළාත් පාලන නියෝජිතයින් හැටියට අපි ජනතාව වෙනුවෙන් ඒ වගකීම ඉටුකල යුතුයි. ජනතාවගේ ඡන්දයට අපි වටිනාකමක් දිය යුතුයි. ඒ තුලින් අපේ බණ්ඩාරවෙල නගරය ඉදිරියේදී විශාල සංවර්ධනයක් සිදුවේවි. එමෙන්ම විශාල අඩුපාඩුවක්ව පවතින මෙම මූලික රෝහලත් බණ්ඩාරවෙල නගරයට ලැබීම තුලින් ජනතාවට පහසුවක් ඉටුවේවි." යැයි නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

 

Rate this item
(1 Vote)