May 05, 2024

ජනපති තීන්දුවක් ගනී! ඉල්ලීම් දෙන්නැයි නිලධාරීන්ට කියයි

February 18, 2022

“වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය ඉහළින්ම අගයනවා. රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්න” යැයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම පරිදි ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.

හෙද විශ්වවිද්‍යාලය ඇරඹීම, දෙවන ශ්‍රේණියේ සිට පළවන ශ්‍රේණියට උසස් කිරීම් පෙරදාතමින් සිදු කිරීම, පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියට දින 05ක  රාජකාරියක් ලෙස පැය 30ක් ලෙස සැලකීම, වෛද්‍ය වෘත්තිකයන්ට ලබාදෙන රුපියල් 35,000ක DAT දීමනාව සමානුපාතිකව යෝජිත රුපියල් 10,000 දීමනාව, නිල ඇඳුම් දීමනා චක්‍රලේඛය නිකුත් කිරීම සහ මූලික වැටුපෙන් 1/100 රේට් අගයක් මත අමතර සේවා දීමනාව යන හෙද වෘත්තීය ඉල්ලීම් සාකච්ඡාවට ලක් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

උසස් අධ්‍යාපන පනත සංශෝධනය කර කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එතෙක් හෙද විද්‍යාල එකතු කර ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අවශ්‍ය සෙසු කටයුතු ඉදිරියට කරගෙන යාමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට උපදෙස් දුන්නා.

අප්‍රේල් මස ඇතුළත උසස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මැයි මාසය අවසන් වීමට පෙර හෙද විශ්වවිද්‍යාලය ඇරඹීමටත් කටයුතු කරන බව සම්පත් අමරතුංග මහතා පැවසුවා.

II ශ්‍රේණියේ සිට I ශ්‍රේණියට උසස් කිරීම් පෙරදාතමින් සිදු කිරීමටත් නිල ඇඳුම් දීමනාව ලබාදීමටත් අවශ්‍ය කටයුතු සලසන මෙන් සෞඛ්‍ය සහ මුදල් ලේකම්වරුන්ට ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

දැඩි අසීරුතාව මැද වුව ද ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙනවා.

එක් පිරිසක ඉල්ලීම් ලබාදීමේ දී තවත් පිරිසක් නැවත ඉල්ලීම් කරන බවත් එහෙත් පවතින මූල්‍ය අර්බුදය මැද සියලු ඉල්ලීම් සලකා බැලීම කළ නොහැකි බව සියලුදෙනා අවබෝධ කරගත යුතු කරුණක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එම නිසා සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයෙන් මුදල් අමාත්‍යාංශය සහ සෙසු  ආයතන සමග සාකච්ඡා කර හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

Rate this item
(0 votes)

Related items