May 12, 2024

(EXCLUSIVE) මුදල් වංචාවට සම්බන්ධ නිලධාරියාට ලොකු පට්ටමක් දීලා! චෝදනා පත්‍රය යට ගහලා Featured

February 09, 2022

2016 වසරේදී ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ සිදුවුණු රුපියල් ලක්ෂ දොලහකට ආසන්න මුදල් අක‍්‍රමිකතාවයකට සම්බන්ධ බවට පරීක්ෂණයකින් අනාවරණය වුණු එහි ලේකම් ලෙසට කටයුතු කල පුද්ගලයා එවකට දිස්ත‍්‍රික් ක‍්‍රීඩා නිළධාරීවරයෙක් ලෙසට කටයුතු කලද අද වන විට ඌව පළාත් සභාවේ සහකාර අධ්‍යක්ෂ තනතුරක් දක්වා උසස්වීම් ලබා කටයුතු කරන බව ඒෂියන් මිරර් වෙත අනාවරණය වුණා.

ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිළධාරියෙකු ඒෂියන් මිරර් වෙත සඳහන් කර සිටියේ ඔහුට විරුද්ධව මේ වන තෙක් කිසිදු විනය ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

ඒ බැව් ඌව පළාත් සභාවේ ක‍්‍රීඩා අංශයේ නිළධාරීන්ද අනුමත කරනවා.

සම්මේලනයේ මුදල් පුද්ගලික ගිණුමට 

ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලේකම් ධූරය දැරූ කාලයේදී ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයට ලැබුණු මුදල් සංගමයේ ගිණුමට බැර නොකර පුද්ගලික ගිණුම් වලට බැර කිරීමෙන් මුදල් අක‍්‍රමිකතාවයන් සිදුකර ඇති බව ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද විමර්ශණයෙන් අනාවරණය වී ඇති බවට ඌව පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් වෙත ක‍්‍රී.සා.දෙ/අ.ක‍්‍රී/ව්‍යා.ක/2017-01 අංක යටතේ 2017.12.18 වන දින ලිපියකින් දන්වා තිබෙනවා.

2017.10.19 වන දින ක‍්‍රීඩා අමාත්‍යංශයේ ක‍්‍රීඩා ශ‍්‍රවණාගාරයේදී නිළධාරීන් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මගින් මෙම පරීක්ෂණය සිදුකර තිබෙනවා.

2016 ඉන්දියාවේ පැවති කබඩි තරඟාවලිය සඳහා ලැබුණු ඉන්දියානු රුපියල් ලක්ෂ 10ක මුදලින් ගුවන් ටිකට්පත්, නවාතැන්, ආහාරපාන, ගමන් වියදම් අඩු කොට ඉතිරි මුදල රු. 754,908ක් කණ්ඩායම් පුහුණුකරුගේ ගාල්ල සෙලාන් බැංකු ශාඛාවේ ගිණුම් අංක 016034325334101 ගිණුමට බැර කර ඇති බව එම පරීක්ෂණයෙන් පැහැදිලි වනවා.

පෞද්ගලික ගිණුමකට මුදල් ගෙන්වා ගැනීම සංගමයේ ව්‍යවස්ථාවට අනුව වරදක් බව ද පෙන්වා දී තිබෙනවා.

නිලතල දැරීමට තහනමක්

12 වන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ ජයග‍්‍රහණය වෙනුවෙන් ක‍්‍රීඩා සංවර්ධන දෙචපාර්තමේන්තුවෙන් පුහුණුකරුවන්ට බෙදා දීමට ලබාදුන් රු 450,000 මුදල බෙදා නොදීම යන කරුණු පරීක්ෂණයෙන් අනාවරණයවී තිබෙනවා.

මේ හේතුවෙන් අදාල ලේකම්වරයාට මින් ඉදිරියට යම් ජාතික ක‍්‍රීඩා සංගමයක/ කමිටුවක සාමාජිකයෙකු වීමට, ජාතික ක‍්‍රීඩා සංගමය අනුබද්ධ ක‍්‍රීඩා සමාජයක සාමාජිකයෙකු වීමට, නාමිකයෙකු වීමට හෝ ජාතික සංගමයක කිසිදු නිලතලයක් දැරීමට නොහැකි වනසේ තහනමක්ද පනවා ඇති බව ඌව පළාත් සභාවේ ලේකම්වරයාට එවන ලද ලිපියේ සඳහන්.

තවද ඔහු ඌව පළාත් සභාවේ නිළධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටින බැවින් සිදුකර ඇති මූල්‍ය අක‍්‍රමිකතාවය සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව විනයානුකූල කටයුතු කරන ලෙසද එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම ලේකම්වරයා මුදල් අක‍්‍රමිකතාවය සිදුකර ඇත්තේ කබඩි සම්මේලනයේ හිටපු උප ලේකම්වරයාගේද සහයෝගය මත බවද පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ අක‍්‍රමිකතා හේතුවෙන් එවකට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍යතුමාගේ නියෝගය අනුව පැවති ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනය අහෝසිකර 1973 අංක 25 දරණ ක‍්‍රීඩා පනතේ 32 හා 33 වගන්ති යටතේ හා අංත 2048/28 හා 2017.12.06 දින ගැසට් පත‍්‍රය අනුව නිසි බළධාරියා වශයෙන් අධ්‍යක්ෂ ජනරාල් පත්කර තිබෙනවා.

ඒ අනුව ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කල කාලයේදී තමන් සතුව ඇති සියළුම ලිපිගොනු සහ උපකරණ 2017.12.27 දිනට පෙර ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතා වෙත භාරදෙන ලෙසට 2017.12.18 දිනෙන් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා අදාල ලේකම් වෙත ලිඛිතව දැනුවත් කර තිබෙනවා.

මෙවන්වූ කරුණු කාරනා රැසක් සිදුව තිබියදී මෙම ලේකම්වරයාට විරුද්ධව කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනය මගින් ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාට 2019.01.16 දිනැති ලිපියෙන් දන්වා තිබෙන පසුබිමක පසුව සිදුවූ ආණ්ඩු මාරුවත් සමගින් පත්වූ වත්මන් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට 2020.12.21 දිනෙන් ද මෙම කාරණාව සම්බන්ධයෙන් දැනුම්දීම් සිදුකල බව කබඩි සම්මේලනයේ නිළධාරියෙකු ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

තවද ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ හිටපු ලේකම් සහ උප ලේකම් විසින් සිදුකර ඇති මුදල් අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක්ද සිදුකර තිබෙන බව එම නිළධාරියො වැඩිදුරටත් පැවසුවා.

මෙම කරුණු සම්බන්ධයෙන් සලකා බැලූ ඌව පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම්.එම් අබේසිංහ මහතාගේ අත්සනින් යුතුව 2019.02.07 වන දිනැති ලිපියෙන් චෝදනා පත‍්‍රයක්ද අදාල ලේකම් ධූරයේ කටයුතු කල නිළධාරියාට යොමුකර තිබෙනවා.

මෙවන් තත්වයක් මධ්‍යයේ ඌව පළාත් හිටපු ආණ්ඩුකාරවර රාජා කොල්ලූරේ මහතාගේ අත්සනින් යුතුව ක‍්‍රීඩා නිළධාරියෙක් ලෙසට කටයුතු කරමින් සිටි මෙම ලේකම්වරයාට ඌව පළාත් ක‍්‍රීඩා අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී ඉටුකිරීමට 2020.07.06 වන දින පත් කෙරෙනු අතර, මෙම පත්කිරීමත් සමගින් ඌව පළාත් සභාවට අනුයුක්තව සේවය කරනා ක‍්‍රීඩා නිළධාරීන් ඇතුළු සේවකයින් දැඩි විමතියට පත්වූ බවත් ඔවුන් දැඩි කණස්සල්ලෙන් පසුවූ බවත් ක‍්‍රීඩා නිළධාරීන් පිරිසක් සඳහන් කළා.

කෙසේ වෙතත් මේ වන විට ඌව පළාත් සභාවේ නව ක‍්‍රීඩා අධ්‍යක්ෂවරයෙක් පත්ව කටයුතු කරන හෙයින් මෙම හිටපු ලේකම්වරයා වර්ථමානයේදී සහකාර අධ්‍යක්ෂකවරයෙක් ලෙසට කටයුතු කරන බවත් රාජ්‍ය නිළධාරියෙක් සිදුකර ඇති මුදල් අක‍්‍රමිකතාවය පැහැදිලිව අනාවරණය වී තිබියදී තවදුරටත් ඔහුට විරුද්ධව කිසිදු විනය ක‍්‍රියාමාර්ගයක් නොගැනීම විමතියට කරුණක් බවත් ඌව පළාත් සභාවේ නිළධාරීන් පිරිසක් සහ ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිළධාරීයෙකු ප්‍රකාශ කළා. 

එමෙන්ම මෙවන් නිළධාරීන් තවදුරටත් මුදල් හෝ වෙනයම් අක‍්‍රමිකතාවයන් සිදු නොකරනු ඇතැයි සහතිකයක් ලබාදිය හැකිද යන්න පිළිබඳවත් ඔවුන් ප‍්‍රශ්ණ කර සිටින අතර වැරදි කල පුද්ගලයින්ට නිසි දඩුවම් ලබාදෙන ලෙසටත් ඔවුන් අදාළ බළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

කබඩි සම්මේලනය විසින් එවකට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට යැවූ ලිපිය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 February 2022 09:46