May 11, 2024

ඇමති ජොනී පොලීසියට මාස 6ක් කල් දෙයි

February 08, 2022

මාස 6 ක් ඇතුලත අධිවේගී මාර්ග වල සිදුවන රිය අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොලිසියට උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුල මේ වන විට බහුල වශයෙන් රිය අනතුරු සිදු වන අතර 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂය තුල සිදු වූ රිය අනතුරු සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව මාස 6 ක් ඇතුලත අධිවේගී මාර්ග වල සිදුවන රිය අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාට මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

2021 වසර තුලදී ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයන් වල පින්නදූව, අපරැක්ක, කුරුඳුගහහැතැක්ම, අගුණකොලපැලැස්ස, අතුරුගිරිය සහ ගැලනිගම යන ස්ථානයන් හිදී මාරක රිය අනතුරු 07 සිදු වී තිබුණා. ඉන් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. 2021 වර්ෂයේ දී අධිවේගී මාර්ග වල සිදු වූ සමස්ථ රිය අනතුරු සංඛ්‍යාව 461ක්.

2020 වර්ෂය තුල අධිවේගී මාර්ග වල මාරක රිය අනතුරු ද සහිතව සිදු වූ සමස්ථ රිය අනතුරු සංඛ්‍යාව 308 ක්. 2020 වර්ෂය තුල මාරක රිය අනතුරු 05 ක් ගැලනිගම සහ කුරුඳුගහහැතැක්මේදී සිදු වූ අතර එයින් 05 දෙනෙකු ජීවිතක්ෂට පත් වුණා.

අධිවේගී මාර්ග වල සිදු වූ රිය අනතුරු වලින් බහුතරයක් සිදු වී ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා බැවින් රියදුරන්ට අධිවේගී මාර්ග වල ගිමන් හැරීම සඳහා ගිමන් හරින ස්ථාන ඉදිකිරීම කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.

බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැද වීම, වේග සීමා උල්ලංඝණය කිරීම, ආසන පටි නොපැලඳ ධාවන කිරීම, ජංගම දුරකථනයෙන් කථා කරමින් රිය ධාවන කිරීම, ආදායම් බලපත්‍ර නොමැතිව ධාවන කිරීම වැනි ක්‍රියා සිදු කල රියදුරන් අධිවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසල අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව 2021 වර්ෂයේ දී නඩු 79,904 ක් ගොනු කර තිබෙනවා.

2020 වර්ෂයේ දී දමා ඇති නඩු ප්‍රමාණය 66,252 ක් බවත් මෙහිදී අධිවේගී මාර්ගයේ ස්ථාපිත පොලිස් ඒකක වල නිළධාරීන් විසින් අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සහ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමණාකරණ අංශයේ සහ අධිවේගී මාර්ග වල ස්ථාපිත කර ඇති පොලිස් ඒකක වල නිළධාරින් සමඟ සාකච්ඡාවක් පසුගිය දා මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 February 2022 16:07