May 10, 2024

පාසල් සිසුන්ටත් කොවිඩ් යළි පැතිරෙයි - පාසලක කොටසක් වසා දමයි

ගිනිගත්හේන ජාතික පාසලේ ළමුන් 08 දෙනෙකුට සහ ගුරුවරුන් 03 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා එම සිසුන් අධ්‍යාපනය ලබන 10 සහ 11 පන්ති තාවකාලිකව වසා දමා මුළු පාසලම විෂබිජහරණයට ලක් කළ බව එම පාසලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසුවා.

පාසල් ළමුන් පිරිසකට සහ ගුරුවරුන්ට වෛරසය ආසාදනය වූ නිසා අද (18) දින පාසලට ළමුන් 150 දෙනෙකු පමණ පැමිණි බවත්, ඉන් රෝග ලක්ෂණ සහිත සිසුන් පිරිසක් ආපසු නිවාස කරා යොමු කල බවත්, පාසලේ ගුරුවරුන් 63 දෙනෙකු පමණක් අද (18) දින පාසලට පැමිණ ඇති බවයි විදුහල්පතිවරයා සඳහන් කළේ.

පාසලට නොපැමිණි ළමුන් වෙනුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ අධ්‍යන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවත්, ආසාදිත ළමුන් සහ ගුරුවරුන්ගේ ළගම ආශ්‍රිත සිසුන් සහ ගුරුවරුන් ස්වයං නිරෝධානයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවද විදුහල්පතිවරයා පැවසුවා.

පාසලේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද විධිමත් කර ඇති බවත්, ආසාදිත ළමුන්ගේ ළගම ආශ්‍රිත ළමුන් 500 දෙනෙකු පමණ නිවාස වල රදවා ඇති බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවසුවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)