May 04, 2024

බල්ලන්ට ගිය සිගිරිය බලන්න අගමැතිගේ නියෝගය අරන් ප්‍රභල හිමි නමක් සීගිරියට යයි (PHOTOS)

ලෝක උරුම සීගිරිය නව නගරයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සති දෙකක් ඇතුලත අවසන් කරන ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආගමික හා කලා කටයුතු අධ්‍යක්ෂ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් එම ආයතනයට දැනුම් දී තිබෙනවා.

ඒ, දෙස් විදෙස් සංචාරකයින්ගෙන් මුදල් අය කළද අවම සනීපාරක්ෂක පහසුකම් හෝ නොමැති ලෝක උරුම සීගිරිය නව නගරය පිළිබඳව අප මීට දින දෙකකට ඉහතදී ඒෂියන් මිරර් ඔස්සේ කළ අනාවරණයෙන් අනතුරුවයි.

   එම පුවත මෙතැනින් : සීගිරිය බල්ලන්ට ගිහින් - සංචාරකයින්ටත් එපා වෙයි (PHOTOS)

එහිදී අප පෙන්වා දුන්නේ, මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි පැමිණෙන දේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 100ක් මෙන්ම විදේශීය සංචාරකයෙකුගෙන් ඩොලර් 30ක මුදලක් අය කළ ද ඔවුන් සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බවයි.

මේ වනවිට මඩ ගොහොරුවක් බවට පත්ව ඇති සිගිරිය නව නගරයේ රථ ගාල සඳහාද දඹුල්ල ප්‍රාදේශීය සභාව මුදල් අයකරන බවත් සීගිරිය නව නගරය සුනඛයන්ගේ රජදහනක් බවට පත්ව ඇති බවත් අප පෙන්වා දුන්නා.

එම පුවත සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය මේ වන විට යොමු වී තිබෙනවා.

ඒ අනුව, මෙම ගැටළුව පිළිබඳ සොයා බැලීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආගමික හා කලා කටයුතු අංශයේ අධ්‍යක්ෂ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සීගිරිය ප්‍රදේශයට වැඩම කළා.

ඒ විෂය භාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වීමෙන් පසු ලබා දුන් උපදෙස් අනුවයි.

සීගිරිය නව නගරයේ පවතින තත්වය සියැසින් දැකබලා ගෙන උන්වහන්සේ කියා සිටියේ නව නගරය දැඩි අපිරිසිදුතාවයකින් පැවතීම සත්‍ය පුවතක් බවයි.

ඒ අනුව සති දෙකක කාලයක් තුළ දඹුල්ල ප්‍රාදේශීය සභාව මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව කඩිනම් වැඩපිළිවෙළක් ලෙස වැසිකිළි පද්ධති සහ රථ වාහන මෙන්ම අවශ්‍ය සියලු ස්ථාන පිළිසකර කිරීම සඳහා පියවර ගන්නැයි උන්වහන්සේ උපදෙස් ලබා දුන්නා.

මෙහිදී දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී.සෝමතිලක මහතා කියා සිටියේ වසර තිහකට ආසන්න කාලයක් නව නගරය ඉදිකොට අවසන් වී ඇතත් මෙතෙක් නගරය ප්‍රාදේශීය සභාවට එහි වගකීම් පැවරීමක් කර නොමැති බවයි.

එමෙන්ම එම භූමියේ නියම අයිතිකරුවෙකු සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සංවර්ධනයට බාධා එල්ල වී තිබෙන බව හෙළිදරව් වුණා.

සීගිරිය නැරඹීම සඳහා ලබා ගන්නා ප්‍රවේශ පත්‍ර වලින් සියයට තුනක ආදායමක් ප්‍රාදේශීය සභාවට ලබා දෙන්නේ නම් මේ සියල්ල සංවර්ධනය කිරීමට හැකි බව සභාපතිවරයා සඳහන් කළා.

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

Rate this item
(0 votes)
Last modified on Friday, 07 January 2022 16:56