May 05, 2024

ජනපති සිතුල්පව්වේ විශේෂ පූජාවක! නාමල්, චමලුත් යයි (PHOTOS)

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ ඊයේ (01) පස්වරුවේ පැවති විශේෂ ආශිර්වාද පූජාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා.

සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පැවරීමේ සන්නස් පත්‍රය බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් වෙත පිළිගැන්වූවා.  

සිතුල්පව්ව රාජමහා විහාරය අවට විහාරස්ථාන හතරක් පූජා භූමි බවට පත්කළ බව දැනුම් දෙන “නිදහස් දීමනා පත්‍ර” ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු එම විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වා තිබෙනවා. 

“ජනාධිපතිතුමනි, “සෞභාග්‍යයේ දැක්ම” තුළින් ඔබ යන ගමන නිවැරදියි. එය සාර්ථක කරගැනීමට හැකි වුවහොත් ඉදිරි පරපුරට එහි ප්‍රතිඵල අත්විඳීමට හැකි වේවි” යැයි මෙහිදී අනුශාසනාව කළ සිතුල්පව්ව රාජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් සඳහන් කළා.

“කුමන හොඳ දේ කළද ඊට අකුල් හෙලන විදේශ මුදල් මත යැපෙන පිරිසක් මෙ රටේ සිටිති. වස විසෙන් තොර ආහාර වේලක් ලබාදී නීරෝගිමත් ජාතියක් බිහි කිරීමට ජනාධිපතිතුමා පිරිසිදු චේතනාවෙන් ගෙන යන වැඩපිළිවෙළට ද ඔවුහු අකුල් හෙලති. “සෞභාග්‍යයේ දැක්ම” සාර්ථක කරගැනීමට හැකි වුවහොත් රට ඉතා වාසනාවන්ත බව” හේමරතන හිමියන් සඳහන් කළා.

“රටේ දියුණුවට ඊර්ෂ්‍යා කරමින් බලය ලබාගැනීමට සහ සෞභාග්‍යයේ දැක්මෙහි ප්‍රතිඵල වෙනුවෙන් තවත් වසර කිහිපයක් ඉවසිය නොහැකි පිරිසක් සිටින බව ද” මැටරඹ හේමරතන හිමියන් පැවසුවා.

සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයට පැමිණෙන මාර්ගයේ ඉදිකිරීමට යෝජිත වාහල්කඩ සඳහා මුල්ගල තැබීම  චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර යන අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.

හේවිසි සහ සක් හඬ මධ්‍යයේ සිදු කෙරුණු ජයසංඛ පූජාවට සහ බෝධි පූජාවට ජනාධිපතිවරයා සහභාගී විය.

.

Rate this item
(0 votes)
Last modified on Sunday, 02 January 2022 02:54

Related items