May 11, 2024

ඩොලර් දුන්නොත් තෙල් දෙන්නම් : ණයට බැහැ - ගම්මන්පිලගෙන් ආයතන දෙකකට කොන්දේසි

December 23, 2021

මින් ඉදිරියට ලංකා විදුලිබල මණ්ඩලයට හා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඉන්ධන ලබා දෙන පිලිවෙත බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රසිද්ධියට පත් කොට තිබෙනවා.

ඒ අනුව එම ආයතන වෙත තෙල් ණයට ලබා දීම නතර කරන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

නව කොන්දේසිය

මින් ඉදිරියට එම ආයතන දෙක වෙත ඛනිජ තෙල් ලබා දෙන්නේ ඔවුන්ට ලබාදෙන තෙල් වල වටිනාකම ඩොලර්වලින් ලබා දුනහොත් පමණක් බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙම ආයතන 2ක අතුරින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඩොලර් සොයා ගැනීම අසීරු නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට හේතු හේතුද දක්වමින්.

ටිකට්පත් සඳහා මෙන්ම සපයන සේවාවන් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඩොලර් ලැබෙන බවයි ඇමැතිවරයා පෙන්වා දෙන්නේ.

විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නය

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලයට ඩොලර් සොයා ගැනීම ප්‍රශ්නයක් බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

සිය තීන්දුවට බලපෑ හේතු දෙකක්ද ඔහු පෙන්වා දෙනවා.

ඉන් එකක් වන්නේ ඛනිජ තෙල් සංස්ථාවද තෙල් ගෙන්වීම සඳහා ඩොලර් සොයාගන්නේ ඉතා අසීරුවෙන් බැවින් තවදුරටත් එම ආයතන වෙත ලබා දෙන තෙල් සඳහා ඩොලර් සෙවීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකිකම.

ණය කන්දරාව

දෙවැන්න එම ආයතන විසින් ඛනිජ තෙල් සංස්ථාව වෙත ගෙවීමට ඇති අධික ණය ප්‍රමාණයයි.

එම ආයතන දෙක විසින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 161 ක් (රු. මිලියන 1,61,000) බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලයට සහ ස්වාධීන විදුලි නිෂ්පාදන සමාගම් විසින් ඛනිජ තෙල් සංස්ථාවට රු. බිලියන 96ක් (රු.මිලියන 96,000) ගෙවීමට තිබෙන බව ඇමැතිවරයා හෙළිදරව් කරනවා.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් රු. බිලියන 65 ක් (රු. මිලියන 65,000) ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති බවයි ඔහු අනාවරණය කරන්නේ.

ගාමිණී ලොකුගේ මහතා විදුලි බල මණ්ඩල විෂය භාර අමාත්‍යවරයා වන අතර ප්‍රසන්න රණතුංග මහතා ගුවන් විෂය භාර අමාත්‍යවරයා වනවා.

මොවුන් දෙපළම ගම්මන්පිල අමාත්‍යවරයා නියෝජනය කරන පොදු ජන පෙරමුණේම සන්ධානගත පක්ෂ 11 කණ්ඩායම සමඟ ප්‍රසිද්ධියේම ගැටුම් ඇතිකරගෙන සිටින ඇමතිවරුන් දෙදෙනෙක්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 19:17