May 19, 2024

ශීතකරණවල තිබිය යුතු ඖෂධ කොරිඩෝවේ: ඖෂධවල ක්‍රියාකාරීත්වය හීනවෙලා

November 21, 2021

අධිශීතකරණවල තැන්පත් කළ යුතු ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශයේ කොරිඩෝවේ සහ සාමාන්‍ය කාමරවල ගබඩා කිරීම නිසා එම ඖෂධවල බල බිඳී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට තොරතුරු අනාවරණයවී තිබෙනවා.

ඖෂධවල ක්‍රියාකාරීත්වය මෙලෙස හීනවීම නිසා රෝගියකුට එක් පෙත්තක් වෙනුවට පෙති කිහිපයක් එකවර ගැනීමට සිදුවන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පෙන්වා දුන්නා.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 17 වනදා රැස්විය. එදින එම කාරක සභාවට කැඳවා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශයේ නිලධාරින්ය.

සෘණ ශීත තත්වයන් තුළ ගබඩා කළ යුතු ඇතැම් ඖෂධද මෙලෙස සාමාන්‍ය උෂ්ණත්වය යටතේ තිබී ඇතැයි සභාපතිවරයා ප්‍රකාශ කළා.

ඖෂධ වර්ග මෙලෙස අනාරක්ෂිතව ගබඩා කර තැබීම ගැන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඖෂධ සැපයුම් අංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

ශීතකරණවල හිඟය නිසා මෙම තත්වය ඇතිවූ බව එම නිලධාරීන් එහිදී ප්‍රකාශ කරන ලදැයිද මහාචාර්යවරයා පැවසුවා.

වහාම එම තත්වය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටු සභාපතිවරයා මෙහිදී ඖෂධ සැපයුම් අංශයේ නිලධාරීන්ට උපදෙස්දී තිබෙනවා.

මේ අතර රටට අවශ්‍ය වන්නේ අත්‍යවශ්‍ය ඖෂධ 347ක් වුවද විවිධ සමාගම් විවිධ කාණ්ඩ යටතේ ඖෂධ 20,000 ක් මෙරටට ආනයනය කරනු ලබන බව කෝපා කමිටු රැස්වීමේදී තොරතුරු අනාවරණයවී තිබෙනවා.

අවුරුද්දටම අවශ්‍ය බෙහෙත් එකවර ගැනීම සුදුසු බවත් එසේ කටයුතු නොකිරීමෙන් ඖෂධ හිඟයක් ඇති වන බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළා.

ඇතැම් වෛද්‍යවරුන් ඖෂධ සමාගම් සමග එකතුවී විශාල වශයෙන් මුදල් උපයන බවද හෙතෙම සඳහන් කළා.

ඖෂධ ගෙන්වීමේදී සිදුවන අක්‍රමිකතා වැලැක්වීමට පියවර ගන්නා ලෙස කෝපා කමිටුව වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නා.

Rate this item
(0 votes)