May 20, 2024

මහින්ද වැඩට දක්ෂ නායකයෙක් - ආණ්ඩුවට සහය දීම ගැන රිෂාඩ්ගේ තීන්දුව හෙට

November 20, 2021

එළඹෙන ඉරුදින පැවැත්වෙන තම පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව අයවැයට සහාය දෙන්නේද නොදෙන්නේද යන්න තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පවසනවා. 

අකුරණ නිරුල්ල මුස්ලිම් පාසලේ ළමා ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා සහභාගී වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය.

"මේ අය-වැය සම්බන්ධයෙන් අපේ පක්ෂය කිසිසේත්ම සෑහීමකට පත් වන්නේ නෑ. නමුත් අයවැයට සහය දෙනවද නැද්ද කියලා අපි තවම තීරණය කරලා නෑ. ඒ තීරණය ලබන ඉරිදාට ගන්නවා. සමගි ජන බලවේගය පසුගියදා පැවැත්වූ විරෝධය සඳහා අපේ පක්ෂය සහභාගි නොවූයේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ අපි තවමත් සන්ධානගත වෙලා නැති නිසයි. ඒ උනාට අපි කටයුතු කරන්නේ විපක්ෂය වශයෙන් තමයි.

මහින්ද රාජපක්ෂ අගමැති තුමා පිළිබඳව මම පාර්ලිමේන්තුවේදී ප්‍රශංසා කලා කියලා ඇතමුන් කියනවා. අපි රජය සමග ඩීල් එකක් තියෙනවා කියලා. අපි රජය සමග කිසිම ඩීල් එකක් නෑ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබවූ වසර 09 තුළ ඒ රජයට සම්බන්ධව මම කටයුතු කළා. ඒ කාලයේ උතුරු නැගෙනහිර හා රටේ සංවර්ධනයට මහින්ද රාජපක්ෂ මහතා හා එක්ව මමත් විශාල වැඩ කොටසක් කළා. එතුමා වැඩට දක්ෂ නායකයෙක් බව ඔප්පු කරල තියෙනවා. නමුත් වර්තමාන රජයේ වසර දෙක තුළ කරපු දෙයක් නෑ. ආර්ථිකය කඩා වැටිලා රට තව තවත් ආපස්සට යන එක විතරයි වෙලා තියෙන්නෙ.

විසි වන ව්‍යවස්ථා සංශෝධනයේදී අපේ පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් රජයට සහාය දුන්නා තමයි. හැබැයි ඒක අපේ පක්ෂයේ මතය නෙවෙයි. ඒක ඒ මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික මතයයි. අද පාර්ලිමේන්තුවේ ඇතැම් ඇමැතිවරු පාරට බැහැලා මහජනතාව ඉදිරියේ, මාධ්‍ය හමුවේ රජය විවේචනය කරනවා. නමුත් මේ අය පාර්ලිමේන්තුවේදී කවදාවත් රජයට එරෙහිව වචනයක් කියන්නේ නෑ. අපි කියන්නේ මේ පාරේදි කරන විවේචනය පාර්ලිමේන්තුවේදීත් කරන්න කියලයි. මෙයාලගේ දෙබිඩි පිළිවෙත් ජනතාව දැන් හඳුනාගෙන ඉන්නේ.

මේ රටේ සාමයෙන් සමගියෙන් සහෝදරත්වයෙන් ඉන්න කැමති කිසි කෙනෙක් එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ නායකත්වය ඥානසාර හාමුදුරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් කැමති වෙන්නේ නෑ. මගේ මතයත් ඒකම තමයි. මට මේ රටේ ජනතාවට කියන්න දෙයක් තියෙනවා මගේ කිසිම වැරැද්දක් නැතිව නිරපරාදේ මාව දෙපාරක් බන්ධනාගාර ගත කළා. ඡන්දය අහිමි වූ ලක්ෂ සංඛ්යාත මුස්ලිම් ජනතාවට ඡන්ද අයිතිය ලබා දීමේ වරදට තමයි එක වරක් මා සිරගත කලේ. දෙවන වර මා බන්ධනාගාර ගත කළේ ත්‍රස්තවාදයට උදව් කළා කියලයි. මේවා අභූත චෝදනා. මම මේ රටේ ජනතාවට කියන්නේ කවදාහෝ සත්‍ය ජයගනී" යනුවෙන් ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 November 2021 11:35