May 03, 2024

වෘත්තිය සමිති කිහිපයක වැඩ වර්ජනය හේතුවෙන් රෝගින් රැසක් පිඩාවට

November 09, 2021

සෞඛ්‍ය වෘත්තිය සමිති 16 ක සේවක සේවිකාවන් අද (09) දින ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දික්ඔය මුලික රෝහලේ සායන කටයුතු වලට සහ ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් රැසක් දැඩි පිඩාවට පත් වි සිටියා.

දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් සායන කටයුතු වලට සහ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණ රෝගින් පරික්ෂා කර එම රෝගින් වෙත ලබාදිය යුතු ඖෂධ වට්ටෝරුව හෙට (10) දින රෝහලට පැමිණ ලබා ගන්නා ලෙස උපදෙස් ලබාදෙමින් රෝගින්ව නිවාස කරා ආපසු යවා තිබෙනවා.

දික්ඔය මුලික රෝහලේ සායන කටයුතු වලට පැමිණි රෝගින් විශාල පිරිසක් වතු ආශ්‍රිත දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණි අය බවද පැවසෙනවා.

රෝහල් සේවකයන් ආරම්භ කොට ඇති වැඩවර්ජනය හේතුවෙන් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව අප දඹුල්ල වාර්තාකරු පවසනවා.

උදෑසන බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන්ට තුණ්ඩු ලබා දී පෝලිමේ සිට වෛද්‍යවරයාගේ පරීක්ෂාවටට ලක් කිරීමෙන් අනතුරුව ඖෂධ නිකුත් කිරීම් සඳහා තුණ්ඩු නිකුත් කළ බව රෝගීන් පවසනවා.

ඖෂධ නිකුත් කරන ස්ථානය සහ ලේ මුත්‍රා පටල පරික්ෂා කරන ස්ථානවලට ගොස් වෛද්‍ය උපදෙස් පරිදි රැඳී සිටිය ද එම ස්ථානවල සේවා සඳහා සෞඛ්‍ය සේවකයින් නොපැමිණීම නිසා ඔවුහු මෙසේ අපහසුතාවයට පත්වූ බව පවසනවා.

මෙදින වැඩ වර්ජනයක් පවතින බව ඇතැම් රෝගීන් නොදන්නා බවත් ඇතැම් විට සෞඛ්‍ය සේවකයින් සේවයට පැමිණීමට ප්‍රමාද වී ඇතැයි පවසමින් ඔවුහු පැය ගණනාවක් එම ස්ථානයේ රැඳී සිටිය ද වැඩවර්ජනයක් පැවැත්වෙන බව රෝගීන්ට කිසිදු ආකාරයෙන් රෝහලෙන් දැනුවත් කිරීමක් නොකර සිටිම විශේෂත්වයක් බව රෝගීහු පෙන්වා දෙනවා.

පසුව ඖෂධ නිකුත් නොකිරීම හේතුවෙන් වෛද්‍ය අධිකාරී කාර්යාලයට ගොස් කරුණු විමසීමට උත්සාහ කළ ද එම ස්ථානයේ පිරිස්ද වැඩවර්ජනයක් ඇති බව පවසා නැහැ.

පසුව එම ස්ථානයේ සිටි රෝහල් සේවකයෙකු පැමිණ රෝගීන්ට කියා සිටියේ නැවත එම ස්ථානයට ගොස් ඖෂධ ලබා ගන්නා ලෙසයි. එහෙත් එම ස්ථානයේ ඖෂධ නිකුත් නොකරන බව රෝගීන් එම සෞඛ්‍ය සේවකයාට දැනුම් දීමෙන් පසුව තව ටික වේලාවක් වාඩි වී සිටින්නැයි උපදෙස් දී එම සේවකයාද ස්ථානයෙන් නික්ම යන්නට ගිය බව රෝගීන් පෙන්වා දෙනවා.

ඖෂධ ලබා ගැනීම සඳහා ඉතා දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණ ඇති බව පවසන රෝගීන්ට  පෞද්ගලික ඔසුසල්වලින් ඒවා මිලදී ගැනීම් සඳහා මුදල් නොමැති නිසා රෝහල රැඳී සිටින බව පැවසූවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ / දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)                          

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 November 2021 11:01