May 03, 2024

මුස්ලිම් ජනතාවට රාජපක්ෂලා විස්වාස නැහැ: ආයෙත් ඡන්දයක් දෙන්නෙත් නැහැ - අගමැති මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක

රාජපක්ෂවරු මුස්ලිම් ජනතාවගේ විශ්වාසය බිඳහෙලා අවසන් බවට අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ශිරාම් යුනුස් මහතා හෙළිදරව්වක් කරනවා.

මුස්ලිම් ඡන්දදායකයින්ගෙන් 98% ක් පොදු ජන පෙරමුණට ඡන්දයක් නොදෙන බව ඔහු තහවුරු කරනවා.

වටේ ඉන්නේ ව්‍යාපාරිකයන්

මේ ආණ්ඩුව ජාත්‍යන්තර මාධ්‍ය පවා හඳුන්වන්නේ "රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව" ලෙස බව සඳහන් කරන යුනුස් මහතා එනිසා මුස්ලිම් ජනයාගේ විරෝධය තිබෙන්නේ එම රාජපක්ෂවරු වෙත බවයි පෙන්වා දෙන්නේ.

පොදු ජන පෙරමුණට ඡන්දය දෙන මුස්ලිම් ජාතිකයෙක් සිටී නම් ඒ අග්‍රාමාත්‍යවරයා වටේ සිටින ව්‍යාපාරිකයන් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම මුස්ලිම් ව්‍යාපාරිකයින් පිරිස යුනුස් මහතා හඳුන්වා දෙන්නේ වෛරස ලෙසටයි.

ජනපතිවරයා රුවන්වැලි සෑය අභියසදී එම ධුරයේ දිවුරුම් දෙද්දී තමන් බලයට පත් වූයේ සිංහල ඡන්ද වලින් පමණක් බවට කළ ප්‍රකාශය පළමු වරද්දා ගැනීම බවයි ඔහු අවධාරණය කරන්නේ.

මුස්ලිම් ජනයාගේ සහය

තමා එය අග්‍රාමාත්‍යවරයා මාර්ගයෙන් නිවැරදි කළ බවද පෙන්වා දෙන යුනුස් මහතා ජනපතිවරයාගේ ජයග්‍රහණය උදෙසා මුස්ලිම් ජනතාවද ඡන්දද ලබා දුන් බව ඔහු සඳහන් කරන්නේ තමාද ඉන් එක් ඡන්දදායකයෙක් බව පෙන්වා දෙමින්.

මුස්ලිම් ජාතිකයින් සිටින්නේ මේ ආණ්ඩුව කොයි වෙලාවේ බිඳ වැටේද යන මතයේ බව ඔහු පෙන්වා දෙනවා.

මුස්ලිම් ජනතාව වත්මන් ආණ්ඩුව ගැන දක්වන ආකල්පය පිළිබඳව යුනුස් මහතා මෙම අදහස් පළ කළේ එක්තරා යූටූබ් චැනලයක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ඔහු එම අදහස් පළ කළේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් එක රටක් එක නීතියක් නිර්මාණය කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවා තිබෙන පසුබිමකයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 11:03