May 10, 2024

කෑම වේලෙන් මන්ත්‍රී කණ්ඩායම සරෙන්ඩර් : කා බී , ගී ගයා විනෝද වෙයි - වාසු මාරු වෙයි

ඊයේ (24) රාත්‍රියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වුණා.

ඒ ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

උණුසුම් රැස්වීමක්

එම රැස්වීම උණුසුම් වෙතැයි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුණත් එවැන්නක් සිදුවූයේ නැහැ.

විශේෂයෙන්ම යුගදනවි බලාගාරය ප්‍රශ්නය සම්බන්ධයෙන් එහිදී විමල් වීරවංශ කණ්ඩායම විසින් ජනපතිවරයාගෙන් ප්‍රශ්න කරුණු ඇති බව එම රැස්වීමට පෙර වාර්තා වුණා.

ඒ විමල් වීරවංශ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11කින් සමන්විත කණ්ඩායම එම ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වේලාවක් ලබා දෙන ලෙස ජනපතිවරයාගෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීම නිසා.

එහෙත් එවැනි ප්‍රශ්න කිරීමක් සිදුවී නැහැ.

රාත්‍රී භෝජන සංග්‍රහය

ජනපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබූ බව වාර්තා වනවා.

ඊට මධුවිතද ඇතුලත්ව තිබූ බවයි දැනගන්නට තිබෙන්නේ.

ප්‍රශ්න කතා කිරීමට පැමිණි මන්ත්‍රීවරු එය පැත්තක තබා කා බී ගීතද ගායනා කරමින් විනෝද වී තිබෙනවා.

විමල් පිලෙන් ගීතයක්

ජනපතිවරයාගේ ඉල්ලීමකට අනුව විමල් පිල නියෝජනය කරන දයාසිරි ජයසේකර මහතාද ගීතයක් ගායනා කර තිබෙන්නේ කලින් දැනුම් දුන්නා නම් හොඳට පුහුණු වී එන බව සඳහන් කරමින්.

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව එහිදී සාකච්ඡා වූ වැදගත්ම කරුණ වන්නේ බොහෝ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට වාහනයක් නොමැතිකමේ ප්‍රශ්නයයි.

එම ප්‍රශ්න ඉදිරිපත් කර තිබෙන්නේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ යළිත් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රයක් ලබා දීම සම්බන්ධයෙන් සුබවාදී තීරණයක් ගන්නා බවයි.

ඇමති , මන්ත්‍රී ඉල්ලීම

ඒ හැරුණුකොට රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා හා කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ මේ තීරණාත්මක අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ එකිනෙකා විවේචනය කර නොගනිමින් එකා මෙන් වැඩ කටයුතු කරන ලෙසටයි.

ඊට වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා පමණක් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

වාසුගේ දේශණය

ඔහු සඳහන් කර තිබෙන්නේ තමාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 50 වසරකට එහා ගිය අත්දැකීම් ඇති බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් තුළ විවේචන අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුතු බවත්ය.

අමාත්‍යවරයාගේ එම කතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔළුව වනමින් අනුමත කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කා බී විනෝද වෙද්දී වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා පමණක් කිසිවකටත් සම්බන්ධ නොවී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අවසන් වූ සැනින් එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 25 October 2021 13:59