May 01, 2024

"කයිවාරුකාරයන්ගෙන් වැඩක් නැහැ - දැන් රට භාරගන්න" : අගමැතිට ලොකු තැනකින් ඉල්ලීමක්

රාජපක්ෂ පරම්පරාව තවදුරටත් රැක ගැනීමට අවශ්‍ය නම් දැන්වත් නිහඬ පිළිවෙතෙන් මිදී දිනෙන් දින පරිහානියට පත්ව යන මෙම රට භාරගන්නා ලෙසත්, රටට දැන් අවශ්‍ය වන්නේ කයිවාරුකාරයන් නොව අග්‍රාමාත්‍යවරයා වැනි වැඩකරුවන් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

මෙරටට විශාල සේවයක් ඉටු කළ ඩී.එස් සේනානායක පරම්පරාවද, බණ්ඩාරනායක පරම්පරාවද දැන් අවසන්ව ඇති බවත් හිමියන් පෙන්වා දෙනවා.

තවදුරටත් රට මෙවැනි ආගාධයකට ඇද දමන්නේ නම් රාජපක්ෂ පරම්පරාවේ අවසානයද මෙය වනු ඇති බවයි මුරුත්තෙට්ටුවේ හිමියන් අවධාරණය කරන්නේ.

ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි එදා තිබූ විශ්වාසය සියයට සියයක් නොව සියයට දෙසීයකින් බිඳ වැටී ඇති බවද උන්වහන්සේ පවසා සිටියා.

හැට නව ලක්ෂයක් පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති විශ්වාසය නිසා පමණක් බවයි උන්වහන්සේ පවසා සිටින්නේ.

ලෝකයේ උතුම් රට ලංකාව යැයි තවදුරටත් පැවසීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ මහතා රට භාරගත යුතුම වන බවත් ඔහු ජනතාවගේ හදවතේ නායකයා බව සියල්ලන්ම හොඳින් දන්නා බවත් ආනන්ද හිමියන් පවසා සිටියා.

අග්‍රාමාත්‍යවරයා විසින් දිගින් දිගටම රැකගෙන යන නිහඬතාවය නිසා ඔහුද දැන් ජනතාවගේ අප්‍රසාදයට පත්වන බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.

ඊළඟ ඡන්දය පැමිණීමට පෙර රට භාරගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් සමස්ත ජනතාවම නියෝජනය කරමින් ඉල්ලා සිටින බවද  පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා සිටියා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ නාරාහේන්පිට, අභයාරාමයේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

Rate this item
(2 votes)
Last modified on Thursday, 21 October 2021 12:08