May 02, 2024

සිරිසේනට ගමට යන්න බැරි එයාම කරපු වැඩ නිසයි: රාජ්‍ය ඇමති ප්‍රතිචාර දක්වයි

පොහොර අර්බූදය මත මතුව තිබෙන තත්ත්වය හේතුවෙන් තමාට ගමට යෑමට නොහැකි බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා.

ඒ ඔහු නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කය කෘෂි ආර්ථිකය මත යැපෙන ප්‍රදේශයක් නිසා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය

ඊට කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

හිටපු ජනපතිවරයාට ගමට යෑමට නොහැකිව තිබෙන්නේ මේ ආණ්ඩුව යටතේ සිදුවන දේ නිසා නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෛත්‍රිපාල සිරිසේන මහතාට ගමට යෑමට නොහැකිව තිබෙන්නේ ඔහු ජනපතිවරයා ලෙස හිටපු වසර පහේ කරපු කියපු දේවල් නිසා බව ඔහු අවධාරණය කරනවා.

ජනපතිවරණය මග හැරීම

සිරිසේන මහතා පසුගිය ජනපතිවරණයට ඉදිරිපත් නොවූයේත් ඒ නිසා බව සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා ඔහුට ගමට යෑමට හැකියාවක් තිබුනේ නම් පසුගිය ජනපතිවරණයට ඉදිරිපත් නොවී සිටින්නේ නැති බවද පෙන්වා දෙනවා.

වත්මන් ජනපතිවරයා දේශීය කර්මාන්ත නගා සිටුවීමට ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු සමහර අය කඩාකප්පල් කරන්නේ ඇතැම් ව්‍යාපාරිකයන් වෙනුවෙන් විය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කරන්නේ.

ඒ නිසා ඒ තත්ත්වය මේ ආණ්ඩුව තේරුම් ගෙන කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා හිටපු ජනපතිවරයාට මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

2015 මහ මැතිවරණයට කාංචන විජේසේකර මහතාට මාතර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙන් නාමයෝජනා ලබාදීමට එවකට ජනපතිව හා එම සන්ධානයේ සභාපති ව සිටී මෛත්‍රිපාල සිරිසේන මහතා විරුද්ධ වූ බව ප්‍රකට කරුණක්.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 October 2021 23:32