May 04, 2024

ඇමති නාමල් කෙන්යාවෙන් ඉල්ලපු දේ

පසුගියදා කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය සමඟ තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙරට මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාගත් බව අමාත්‍යවරයා පවසා සිටියා.

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාව හා කෙන්යානු රාජ්‍යය අතර ද්විපාර්ශ්වික හා ජන සමාජ අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගී වූ අමාත්‍යවරයා, විශේෂයෙන්ම එහිදී  කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය වන ආචාර්ය අමීනා මොහොමඩ් මහත්මිය සමඟ මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා මට්ටම තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව හා කෙන්යාව අතර ක්‍රීඩා ක්ෂේත්‍රයේ  සම්පත් මෙන්ම ප්‍රවීනයන්ගේ අත්දැකීම් ද හුවමාරු කරගනිමින් සහයෝගයෙන් ක්‍රියා කිරීමට එකගත්වය පළවී තිබෙනවා.

ඒ අනුව‍, මෙම වසර අවසානයේ හෝ ලබන වසරේ මුල් කාර්තුව තුළ මධ්‍ය සහ දිගුකාලීන පුහුණුවීම් සඳහා ශ්‍රී ලාංකික මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු කෙන්යාව බලා පිටත් කරයැවීමට නියමිතයි.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ දස්කම් දක්වන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පුහුණුව හා නිරන්තර දිරිගැන්වීම් ලබාදෙමින් ඔවුන්ගේ දක්ෂතා ඔප මට්ටම් කරගැනීමට ඉඩ ප්‍රස්තාව සලසාදීමේ අරමුණින් මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාගැනීමට අමාත්‍යවරයා කටයුතු කරමින් සිටිනවා.

ලැබෙන මෙවැනි අවස්ථාවන් නිසි අයුරින් ප්‍රයෝජනයට ගෙන පුහුණුවීම් කටයුතු සිදුකර තම දක්ෂතා ඔප මට්ටම් කරගනිමින් ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ කරා ළඟා වනු ඇතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 October 2021 15:59