May 04, 2024

රාජ්‍ය ඇමති නාලකගේ වැඩ ගැන අගමැතිගෙන් නියෝගයක්

මුදල් වෙන් වූ සංවර්ධන ව්‍යාපෘති මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ තෙවැනි කාර්තුව සඳහා අරලියගහ මන්දිරයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ උපදෙස් ලබා දී තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය ජූලි මාසයේ ආරම්භ කළ සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක බවය.

ලබන දෙසැම්බර් මස 31 වනදාට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා එහිදී සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ නාලක ගොඩහේවා මහතායි.

Rate this item
(0 votes)