May 01, 2024

ඉදිරිය අවදානම්! යළිත් හුදකලා කිරීම් - කොවිඩ් කමිටුවෙන් දැඩි තීන්දුවක්

සෞඛ්‍ය නීති ලිහිල් කෙරුණද ජනතාව සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙමින් කටයුතු නොකළහොත් ආසාදිතයන් වැඩිවී යළි අවදානම් තත්වයක් ඇතිවනු ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොවිඩ් වසංගතය සමහර රටවල යළි හිස ඔසවමින් සිටින බවත් එවැනි තත්වයක් ඇති නොවීමට සියලු දෙනා වග බලා ගත යුතු බවත් හෙතෙම සඳහන් කළා.

අමුතුවෙන් කියා දිය යුතු නෑ

සෞඛ්‍ය නීති නීතිවලට අනුගත වෙමින් කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් තමා කාරුණිකව ඉල්ලා සිටින බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ජනතාව බුද්ධිමත් හෙයින් සෞඛ්‍ය නීති රැකීම සම්බන්ධයෙන් ඔවුනට අමුතුවෙන් කියා දිය යුතු නැතැයිද ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියා.

රටේ කොවිඩ් තත්වයේ යම් පාලනයක් ඇති වී තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

ප්‍රදේශ හුදකලා කළ යුතුයි

මේ අතර කොවිඩ් -19 රෝගීන් තවදුරටත් වාර්තා වන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමුකර අදාළ ස්ථාන හුදකලා කිරීමේ අවශ්‍යතාවය ඊයේ (15) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණා.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව විඩීයෝ තාක්ෂණය ඔස්සේ රැස්වී තිබුණි.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩු කරගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අධ්‍යයනය කළයුතු බවයි.

පාසල් සිසුන්ට තුන්වන මාත්‍රාවත්

මේ අතර පාසල් ළමුන් එන්නත් කිරීමෙන් පසු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව (Booster) ලබාදීමට සැලසුම් කර ඇති බවද එම සාකච්ඡාවේදී කරුණු අනාවරණය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. 

ලබන සඳුදා (18) තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලැබීමට නියමිත අතර මේ වනවිට ඇණවුම් කර ඇති එන්නත් අඛණ්ඩව ලැබෙමින් පවතින බවත් කොවිඩ් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දී තිබෙනවා.

කොවිඩ් මර්දනය සඳහා සෞඛ්‍ය අංශ අනුගමනය කළ ගෘහස්ථ නිරෝධායන ක්‍රියාවලිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ ඇගයීමට ලක්වී ඇතැයි ද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් කොවිඩ් කමිටුව හමුවේ සඳහන් කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 16 October 2021 11:52

Related items