May 02, 2024

මෛත්‍රී, සජිත්, කරූ, විජේදාස අභයාරාමයට! මුරුත්තෙට්ටුවේ හිමි සියලු බලමුළු රැස් කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් නාරාහේන්පිට අභයාරාමයට රැස්වී තිබෙනවා.

ඒ  ගුරු - විදුහල් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකිරීම සඳහා ගුරු - විදුහල් වැටුප් විෂමතාට එරෙහි ජාතික එකමුතුවේ සංවිධානයෙන් නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (06) පස්වරුවේ පැවැති සර්ව පාක්‍ෂික සමුළුවටයි.

ඒ සඳහා ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ නියෝජිතයෝ රැසක් සහභාගි වී තිබෙනවා. එම සමුළුවට සහභාගී වූ ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ නියෝජිතයෝ ගුරු අරගලයට සහාය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි සහ විජේදාස රාජපක්‍ෂ, සමඟි ජනබලවේයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු කථානායක, සාධාරණ සමාජයක් සංවිධානයේ සභාපති කරූ ජයසූරිය, හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජාතික හෙළ උරුමයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නීතිඥ ගුණරත්න වන්නිනායක මහත්වරු සහභාගි වී තිබෙනවා.

මේ අතර ගුරු - විදුහල් වැටුප් විෂමතාට එරෙහි ජාතික එකමුතුව නියෝජනය කරන ගුරු සංගම් 13 ක් නියෝජනය කරමින් නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වී තිබුණා.

මෙම සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගී වූ සියලුම දේශපාලඥයින් ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් පැවසුවේ ගුරු - විදුහල්පති වැටුප් අරගලයට සහයෝගය දක්වන බවයි.

එහිදී අදහස් දැක්වූ ගුරු සංගම් නියෝජිතයන් පැවසුවේ ගුරුවරායට සහ විදුහල්පතිවරයාට නිසිතැන ලබාදෙන ලෙසත් ‘සුබෝධනී’ වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් නැවත නැවතත් ඉල්ලා සිටින බවත්ය.

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සර්ව පාක්‍ෂික සමුළුව ගුරු - විදුහල් වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ සංවිධානය කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 October 2021 08:05