May 04, 2024

සජිත් පාර්ශවය අගමැති ගිය මග: දුන් පොරොන්දුව එහෙම්මම දෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයේ සිටියදී ජනතාවට දුන් පොරොන්දුව සමගි ජන බලවේගයද ලබාදී තිබෙනවා.

ඒ ආණ්ඩුව විදේශිකයින්ට විකුණන සියලු රාජ්‍ය සම්පත් යළි පවරා ගන්නා බවටයි.

විකිණීමට එරෙහි උද්ඝෝෂණය

සමගි ජන බලවේගය වෙනුවෙන් එම පොරොන්දුව ලබා දෙන්නේ අශෝක අබේසිංහ මන්ත්‍රීවරයායි.

සමගි ජන බලවේග නායකයෝ බොරු නොකියන බවද අබේසිංහ මන්ත්‍රීවරයා සිය පොරොන්දුව තහවුරු කරමින් වැඩිදුරටත් සඳහන් කරනවා.

අබේසිංහ මන්ත්‍රීවරයා එම පොරොන්දුව ලබා දුන්නේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඛනිජ තෙල් සංස්ථාව ඉදිරිපිට සමථ ජන බලවේග මන්ත්‍රීවරුන් පැවැත් වූ විරෝධතාවය අතරතුර.

තෙල් ටැංකි , වරාය , බලාගාර ඇතුළු ජාතික සම්පත් විදේශිකයින්ට විකිණීමට එරෙහිවයි එම විරෝධතාවය පැවැත්වුණේ.

සභාපතිගේ පණිවිඩය

ඒ අවස්ථාවට එක්වූ සමගි ජන බලවේගය සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද අදහස් දක්වා තිබුණා.

විදේශිකයන්ට දේශීය සම්පත් විකිණීම ආණ්ඩුව ආයෝජනයක් ලෙස හැඳින්වුවද අපේ ජාතික සම්පත් විකිණීම ආයෝජනයක් නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඒකාබද්ධ විපක්ෂයේ සිටි කාලයේ සඳහන් කළේ තම ආණ්ඩුවක් බලයට පැමිණි විගස යහ පාලන ආණ්ඩුව විදේශිකයන්ට විකුණා සියලු දේශීය සම්පත් යළි පවරා ගන්නා බවයි.

ඒ නිසා මෙරට කිසිම දේශීය සම්පතක් මිලට නොගන්නා ලෙස ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා විදේශිකයන්ට දැනුම් දුන්නා.

එදා එසේ එම පොරොන්දුව ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම අද එම පොරොන්දුව දෙන අශෝක අබේසිංහ මහතා යන දෙදෙනාම කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කිරීමත් විශේෂත්වයක්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 02:20