May 13, 2024

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ගත්තේ මම: ඒ තෙල් ගන්න - ඇමති හෙළි කරයි

September 30, 2021

ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක (රු. මිලියන 10000) ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලැබුණු බව වාර්තාවී තිබුණා.

ඒ පවතින ඩොලර් හිඟයට පිළියමක් ලෙස.

ඒක මගේ ඉල්ලීමක්

එම ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගත්තේ තමන් බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනාවරණය කරන්නේ.

තමා එම ණය පහසුකම ඉන්දියාවේ ඛනිජ තෙල් හා ගෑස් අමාත්‍ය හර්දිප් ශ්‍රී පූරී මහතාට පුද්ගලිකවම කතා කොට ලබා ගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එම ඉල්ලීම තමා ඉන්දීය අමාත්‍යවරයාගෙන් කළේ ඉකුත් අගෝස්තු මාසයේ බව සඳහන් කරන අමාත්‍යවරයා රටේ තිබෙන විදේශ විනිමය අර්බුදය නිසා තෙල් ගෙන්වීමට එම ණය පහසුකම ඉල්ලූ බවයි පෙන්වා දෙන්නේ.

තෙල් වලට අර්බූදයක් නැහැ

එම ණය පහසුකම ඉන්දියාව අනුමත කර තිබෙන බැවින් දෙසැම්බර් මාසයේ සිට ඩීසල් ගෙන ඒම සඳහා ඒ පහසුකම භාවිතා කිරීමට හැකි බවයි ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ.

ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මේ නිසා විදේශ විනිමය අර්බුදයට රට මුහුණ පෑවත් ඛනිජ තෙල් ආනයනයට ඉන් කිසිම බලපෑමක් සිදු නොවන බව අමාත්‍යවරයා තහවුරු කරනවා.

එළැඹෙන ජනවාරි මස දක්වා පෙට්රල්ද එළඹෙන නොවැම්බර් මස දක්වා ඩීසල්ද රට තුළ තිබෙන බවට සහතිකයක්ද ගම්මන්පිල මහතා ලබා දෙනවා.

ගම්මන්පිල අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් තබමින් මෙසේ ප්‍රතිචාර දැක්වූයේ රටේ තෙල් හිඟයක් ඇති වන බවට විපක්ෂය දිගින් දිගටම කරන චෝදනාවන්ට පිළිතුරු ලෙසයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 30 September 2021 13:59