May 04, 2024

අගමැතිගෙන් ආණ්ඩුවේ කල්ලි වලට පණිවිඩයක්: සැලුන් දොර ඇරලා - කැමැති තීරණයක් ගන්න

September 30, 2021

ආණ්ඩුවේ සිටින සන්ධානගත සුළු පක්ෂවලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයක් ලබා දී තිබෙනවා.

ඒ එම පක්ෂවලට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඕනෑම මොහොතක ඒ සදහා ඉඩකඩ තිබෙන බවටයි.

බලහත්කාරයෙන් තබා ගැනීම

පොදු ජන පෙරමුණේ මෙන්ම පොදු ජන පෙරමුණ සන්ධානයේද නායකයා වන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එසේ යාමට කැමති පක්ෂ සිටී නම් එම පක්ෂ බලහත්කාරයෙන් රඳවා ගැනීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවයි.

කොයි කවුරු ආණ්ඩුවෙන් ගියත් ආණ්ඩුව වැටෙන්නේ නැති බවද මතක තබා ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුණේ දිනපතා ජාතික පුවත්පතක් සමගින්.

විකල්ප කණ්ඩායම

පොදුජන පෙරමුණේ සන්ධානයේ සන්ධානගත පක්ෂ 10ක එකමුතුවකින් සැදුම් ලත් විකල්ප කණ්ඩායම ආන්ඩුවේ සෑම කටයුත්තකටම අකුල් හෙලන බව ප්‍රකට කරුණක්.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය , වරාය නගර පනත් කෙටුම්පත මෙන්න ඇමරිකාවේ නිච් ෆොට්‍රස් බලශක්ති සමාගම සමග අත්සන් කළ ගිවිසුමටද එම කණ්ඩායම ප්‍රශ්න ඇති කළා.

විමල් වීරවංශ උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් නායකත්වය දෙන එම කණ්ඩායම සමඟ අග්‍රාමාත්‍යවරයා නායකත්වය දරන පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා නිරන්තරයෙන්ම ගැටුම් ඇති කර ගැනීම දක්නට ලැබෙන්නක්.

ශ්‍රී.ල.නි.ප භූමිකාව

ආණ්ඩුවක සිටිමින් විපක්ෂයක වැඩ කටයුතු කළ නොහැකි බවත් ඒ කටයුත්ත ආණ්ඩුවෙන් ඉවත්ව කරන ලෙස මීට පෙරත් එම කණ්ඩායමට එස්.එම්චන්ද්‍රසේන , රෝහිත අබේගුණවර්ධන හා ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට තිබුණා.

ඒ හැරුණු කොට පොදුජන පෙරමුන සන්ධානයේ දෙවැනි විශාලතම පාර්ශ්වය වන හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේම විවේචනය කිරීමත් දක්නට ලැබෙන්නක්.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 October 2021 09:16