May 04, 2024

රටේ ආණ්ඩුවක් නැහැ: තිබෙන්නේ කොල්ල කල්ලියක වැඩපිළිවෙළක් - ජවිපෙ

September 27, 2021

රටේ හැම අංශයක්ම අරාජික වෙමින් රට ඉබාගාතේ ගමන් කරමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙනවා.

මෙි ඉබාගාත ගමන තුළ ආණ්ඩුවේ ප්‍රධානීන් හම්බ කරගන්නා ගමන් තම හිතවතුන්ට හා ජාවාරම්කාරයින්ටද අඹ කර ගැනීමට ඉඩ දී තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

දැන් රටේ තිබෙන්නේ ජනපතිගේ සිට ආණ්ඩුවේ කිසිවෙකූ කිසිවෙකුටත් වග කියන්නේ නැති , ජනවරමට වග කියන්නේ නැති ව්‍යවස්ථාවට අනුව , නීති රීති වලට රට පාලනය කරන ආණ්ඩුවක් නොව පවුලක් වටා මුදල් එකතු කර ගැනීම අරමුණු කරගත් කොල්ල කල්ලියක වැඩ පිළිවෙළක් බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා මේ අදහස් පළ කළේ මාධ්‍ය හමුව තබමින්.

එහිදී වැඩිදුරටත් අදහස්  දක්වමින් ලේකම්වරයා කළ ප්‍රකාශය පහත දැක්වේ.

දිගින් දිගටම රට තුළ බඩුමිල වැඩිවීමක් සහ භාණ්ඩ හිඟයක් තිබෙනවා. ආණ්ඩුවට මේ ප්‍රශ්න විසඳීමට කිසිම වැඩපිළිවෙළක් නැහැ. කොරෝනා වසංගතයට මුහුණ දීලා ඉන්න පොදු ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. මේ නිසා දිගින් දිගටම භාණ්ඩ මිල වැඩිවීමක් සහ භාණ්ඩ හිඟයක් ඇතිවී තිබෙනවා. මේ නිසා පෝලිම් යුගය ගැන අලුතින් බයක් ඇතිවී තිබෙනවා. ගෑස් හිඟය නිසා, කිරිපිටි හිඟය නිසා, පෝලිම් ඇතිවීම මේ දවස්වල දකින උදාහරණයි. නමුත් ජනතාවගේ මූලික අවශ්‍යතා විසඳන්න ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.

සෞභාග්‍යයේ දැක්මට අනුව රට ගොඩනගන්න ආපු ආණ්ඩුවක් ජනතාවට තුන්වේල කන්න දෙන්න බැරි මට්ටමකට පල්ලම් බැස තිබෙනවා. මේ කිසිදු දෙයක් ආණ්ඩුවේ ලොක්කන්ට දැනෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ඇතුළු ප්‍රධානීන්ට රට ගෙනියන්නේ කොහෙටද කියලා දැක්මක් නැහැ. ඡන්ද කාලයේ ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ඉලක්කම් වචන සහ කොල කෑලි විතරයි. දැන් පරිපාලන යාන්ත්‍රණය බිඳවැටිලා නිලධාරීන් කෙළවරක් නැතිව ඉල්ලා අස්වෙමින් තිබෙනවා. 

මේක ආණ්ඩුවක් නෙවෙයි     

දේශීය නිෂ්පාදන වැඩිකරන බව දැන් ආණ්ඩුව කියනවා. කිරිපිටි අගුණ බව කියනවා. නමුත් අපේ රටේ ජනතාවට වසවිස නැති දියර කිරි ලබාදීමේ වැඩපිළිවෙළක් නැහැ. අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා කෘෂිකර්ම ඇමති වෙලා හිටිය කාලයේ කිරි කර්මාන්තය දියුණු කරන්න වැඩපිළිවෙළක් හැදුවා. කිරි ගොවි ගම්මාන පිහිටවූවා. නිෂ්පාදනය වැඩිකර මිල්කෝ සමාගම ඉතිහාසයේ පළවැනි වතාවට ලාභ ලැබුවා. නමුත් කොම්පැනිකාරයින්ගේ අල්ලස්වලට යටවී සියල්ල කඩා බිඳ දැම්මා. කිරි විසයි කියන ආණ්ඩුව බාර් අරිනවා. බාර් හිමකාර මැති ඇමතිවරුන්, ආණ්ඩුවේ ආදායම් වෙනුවෙන් ඇඳිරි නීතිය තියෙද්දී බාර් ඇරලා පෝලිම් හැදුවා. මේ අතරේ සුදුළුෑණු වංචාවක් පිළිබඳ හෙළිවී තිබෙනවා. රුපියල් 150ට විතර වෙළඳපොළේ විකුණන්න තිබුණු සුදුළුෑණු රු. 250ත් ඉක්මවලා මිල වැඩිවෙලා. මේක ආණ්ඩුවක් නෙවෙයි, කොල්ල කල්ලියක් කියන්නේ ඒකයි.

වැරදි ආර්ථික ප්‍රතිපත්ති

ඒ නිසා ආණ්ඩුවේ අය කියන බොරු විශ්වාස කරන්න එපා කියලා අපි ජනතාවට කියනවා. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සපයන්න මේ අය අසමත් කියන එක දැන් ඇතිවෙන්න සහතික කරලා තියෙන්නේ. බලයට එන්න ඉස්සෙල්ලා “අපි දන්නවා සල්ලි හොයන ක්‍රමය” කියපු අය දැන් කරමින් ඉන්නේ මොනවාද? දැන් ජනතාව භුක්ති විඳින්නේ මේ ආණ්ඩුවත් ඇතුලුව පහුගිය කාලය පුරාම අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයි.

පසුගිය කාලයක් තිස්සේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනවා වෙනුවට කොමිස්වලට ණය ගත්තා. ගත්ත ණය නාස්ති කළා. ඒ නිසා රටේ නිෂ්පාදනයක් ඇතිවුණේ නැහැ. ණය ගෙවාගන්නත් බැහැ. මේ නිසා විදෙස් මුදල් සංචිතය අඩුවෙනවා. ඒ නිසා රුපියල කඩා වැටෙනවා. අනෙක් පැත්තෙන් සල්ලි අච්චු ගහනවා. මේ දෙක නිසාම බඩුමිල වැඩිවෙනවා. ව්‍යාපාර කඩාවැටෙන්නෙත්, ආනයනය සීමා කරන්නෙත් භාණ්ඩ හිඟ වෙන්නෙත් නිෂ්පාදනයක් නැති වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසයි. මේ ආර්ථික ප්‍රතිපත්තිය සහ ඒ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය පවත්වාගෙන යන දේශපාලනය වෙනස් නොකර මේ ප්‍රශ්නයට උත්තර හොයන්න බැහැ. මේ වෙනුවෙන් ස්ථිර ආර්ථික, දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන තෙක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකරපල්ලා කියලා ආණ්ඩුවට බල කරන්න සිදුවී තිබෙනවා. පීඩනය දරාගෙන මිනිස්සු ඉන්නේ කොරෝනා තත්වය නිසයි. ජනතාවට විහිළු සපයන්නේ නැතිව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සපයන්න ආණ්ඩුව මැදිහත් විය යුතු බව අපි අවධාරණය කරනවා. 

පරණ සෙල්ලමම මතුකිරීම        

ආණ්ඩුවට එරෙහිව ජනමතයක් ගොඩනැගෙනකොට ඒ අයගේ පරණ සෙල්ලමම ජාතිවාදය මතුකිරීම ආයෙත් පටන්ගෙන තිබෙනවා. එක එක සේනා බැහැලා මුස්ලිම් ජනයාට එරෙහිව විශේෂයෙන් දැවැන්ත ජාතිවාදයක් ඇවිස්සුවා. බලයට පත්වුණාට පස්සේ ඒ ජාතිවාදී නඩ ඔක්කොම ඔළුව හංගා ගත්තා. ආණ්ඩුවේ අවශ්‍යතාවයට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ගන්නකොට මේ නඩ හිටියේ ඔළුව හංගාගෙනයි. 20වැනි සංශෝධනය සම්මත කරගෙන හදිසි නීතිය සම්මත කරගන්න මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද අරගෙන දැන් ජාතිවාදී නඩ එළියට බැහැලා ඉන්නවා. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීම සහ ලංකාව තුළ ක්‍රියාත්මක වීම තුළ අපි පැහැදිලි වෙනසක් දකිනවා. කතෝලික ජනතාවට, කාදිනල්තුමාට එරෙහිව නැවත වෛරය ඇතිකරමින් ඉන්නවා. පාස්කු ප්‍රහාරය වෙලාවේ මුස්ලිම් විරෝධයක් ඇතිවී ගැටුමක් දක්වා යාම වළක්වන්න කාදිනල්තුමා විශාල වශයෙන් මැදිහත් වුණා. යුක්තිය ඉටුකරගන්න ක්‍රමයක් හොයාගමු කියලා කතෝලික ජනතාව තුළ තිබුණ පීඩනය නතර කළා. ඒ සම්බන්ධයෙන් එතුමාට අපේ ගෞරවයක් තියෙනවා. නමුත් දැන් ජනාධිපති පත්වෙලා අවුරුදු දෙකකට කිට්ටු වුණත් පරීක්‍ෂණ අයාලේ යමින් තියෙනවා. වින්දිතයන්ට යුක්තිය ඉටුවුණේ නැහැ. මේ නිසා කාදිනල්තුමා ආණ්ඩුවට බලකරමින් ඉන්නවා. ඒ නිසා ආණ්ඩුව තමන් ළඟ හිටපු බලවේග එළියට දාලා කාදිනල්තුමාට පහර දෙනවා.

පාලකයින්ගේ කොන්ත්‍රාත්

බලය වෙනුවෙන් ජාතිවාදය අවුළුවලා දෙමළ ජනතාව අමනාප කරගත්තා. මුස්ලිම් ජනතාව අමනාප කරගත්තා. දැන් කතෝලික ප්‍රජාවත් අමනාප කරගන්න යන්නේ. සෞභාග්‍යය කරා යනවා නම් සමගිය තියෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව කරන්නේ මේ මොහොතේ තිබෙන ආර්ථික අර්බුදය සහ ආණ්ඩුවේ අසමගිකම වහගන්න ජාතිවාදය අවුස්සන එකයි. කාදිනල්තුමා පාස්කු ප්‍රහාරයේ පරීක්‍ෂණ ගැන ප්‍රශ්න කරනකොට උත්තර දෙන්න බැරිව ආණ්ඩුව ජාතිවාදය, ආගම්වාදය අවුස්සනවා. මේ නිසා අපි ජනතාවට අවධාරණය කරන්නේ ජාතිවාදය අවුස්සන්න කලඑළි බහින කණ්ඩායම් පිළිබඳව අවබෝධයෙන් ඉන්න කියලා. මේ අය රටට ආදරය ඇති අය නෙවෙයි. ජනතාවට ආදරය ඇති අය නෙවෙයි. පාලකයින්ගේ කොන්ත්‍රාත් ඉටුකරමින් ජනතාව භේද කරන අයයි. රට අගාධයට අරගෙන යාමට දායක වන අය බව අවබෝධ කරගෙන කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ නිසා අපි අවධාරණය කරන්නේ රට ඉතා අනතුරුදායක තත්වයක තිබෙන බව අවබෝධ කරගෙන කටයුතු කරන්න කියලා. මේ තත්වය වෙනස් කිරීමට අපේ රටේ දේශපාලනය වෙනස් කළ යුතුයි. ඒ වෙනුවෙන් පෙළගැහෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 27 September 2021 17:57