May 06, 2024

තවත් අයවැය රහසක් එළියට! වැඩි මුදලක් වෙන් කර ඇති අංශය ගැනත් හෙළිවෙයි

September 26, 2021

ඉදිරි 2022 අයවැයෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් කොට ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.                                                                            

වෙනත් අය වැයේදී වැඩිම මුදලක් වෙන් කලේ ආරක්ෂක අමාත්‍යාංශයට, දෙවනුව අධ්‍යාපනයට සහ තෙවනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට වුවද මෙවර ජාතික අවශ්‍යතාවයක් සේ සලකා සෞඛ්‍යය සඳහා අයවැයෙන්  වැඩි මුදලක් වෙන් කරන බව ද අමාත්‍යවරයා එහිදී පවසා සිටියා.                                            

මේ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාද අදහස් පළ කළ බවත් 2022 වසරේ කිසිදු නව ගොඩනැගිල්ලක් ඉදි නොකරන අතර මේ වන කොට බාගෙට ඉදි කොට ඇති ගොඩනැගිලි මෙන්ම ඉදිකොට අවසන්ව අනෙකුත් අවශ්‍යතා සපුරා ගත නොහැකිව තිබෙන ගොඩනැගිලි විශාල ප්‍රමාණයක අනෙක් අවශ්‍යතා සම්පූර්ණ කිරීම බලාපොරොත්තු වන  බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ධානපතියන්ගේ පරිත්‍යාග මත මහනුවර ජාතික රෝහලේ ඉදිකළ සාමාන්‍ය ප්‍රතිකාර ඇදන් සියයක් හා දැඩිසත්කාර ඇදන් 16 කින් යුතු කොරෝනා ප්‍රතිකාර වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් අද (26) දිනයේ සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව සඳහන් කළා.

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් අවශ්යතාව අනුව ඉදිරියේදී නීති රීති සම්මත කර ගැනීමට හැකි වනු ඇතැයිද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  මෙහිදී කීය .                         

බොහෝ පිරිසක් එන්නත් ලබා ගැනීමට පැමිණෙන නමුත් ඇතමුන් එය නොසලකා හරින තත්ත්වයක් යටතේ රටේ අවශ්‍යතාවය මත ඉදිරියේදී එන්නත ලබා ගැනීම පිළිබඳ සමාලෝචනය කිරීමට සිදුවන බව ඒ මහතා අවධාරණය කළා.

එන්නත්රණය සම්බන්ධයෙන් ඉදිරියෙදී නීති රාමුවක් සකස් කිරීම අවශ්‍ය නම් එය සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කොට සිදුකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කොට සිටියා.

ප්‍රමුඛත්වය අනුව ඉදිරි අයවැය මගින් සෞඛ්‍ය අංශයට විශාල මුදලක් වෙන් වන බව සඳහන් කළ ඒ මහතා රටේ ආරක්ෂාවට හා අධ්‍යාපනයට අඩු තක්සේරුවක්  මේ නිසා හිමි නොවන බවද මේ වන විට ප්‍රමුඛස්ථානයට පත්ව ඇත්තේ සෞඛ්‍ය අංශය යැයි ද සඳහන් කළා.                                                                

පාසල් විවෘත කිරීමට ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබුණු ගුරුවරුන්ගේ එන්නත්කරණය මේ වන විට 99% ක ඉලක්කය පසුකර හමාර යැයි කී අමාත්‍යවරයා වයස අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත්කරණය පිළිබඳව ලොව පුරා මෙතෙක් අවධානයක් යොමු වී නැතැයි ද එසේ වුවද පාසල් දරුවන් එන්න කිරිම සම්බන්ධයෙන් මේ වන විටද විධිමත් වැඩපිළිවෙළක්  සම්පාදනය කොට පවතින බවද අමාත්‍යවරයා සිහිපත් කළා.

රට තවදුරටත් වසා තබන්නේ ද නැත්නම් විවෘත කරන්නේද යන්න විශ්ලේෂණය කරන බවත් කුඩා ආර්ථිකයකින් සමන්විත මෙම රට තවදුරටත් වසා නොතබා විවෘත කිරීම වඩා සුදුසු යැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළා.

(කමල් සුරවීර - මහනුවර)

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 September 2021 15:34