May 06, 2024

ලංකාවටම එකයි - කටුනායක විවෘත වුණු නවතම වෛද්‍ය ඒකකය (PHOTOS)

September 23, 2021

කොරෝනා වසංගතය සමග සමස්ථ ලෝකයටම විශාල අභියෝගයක් එල්ල වූ බවත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා උත්තර සොයමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා එසේ පැවසුවේ කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ කැනඩා මිත්‍ර මාවතේ නව පී.සී.ආර්. වෛද්‍ය පරීක්ෂණාගාරය අද (23) දිනයේ උදෑසන විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

මෙම අභියෝග සදහා ඍජුව මුහුණ දී අවසන් ජයග්‍රහණය ලබා ගත යුතු බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

කොරෝනා වසංගතය නොසිතූ ලෙස ලෝකය වෙලා ගත් බවත් මේ නිසා විසදුමක් නොමැති අවාසනාවන්ත තත්වයක් ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

ඊශ්‍රායලය, එහි ජනගහනයෙන් 70% කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී, බූස්ටර් තෙවන මාත්‍රාවක් ද ලබා දී තිබියදීත් , ඊළඟ රැල්ලකට ගොදුරු වූ බවද ඒ මහතා අවධාරණය කරා.

එනිසා මෙවැනි පසුබිමක් තුළ ආර්ථිකයේ මර්මස්ථාන රැක ගනිමින් ප්‍රවර්ධනය කිරීමට පියවර ගත යුතු බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

එනිසා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට ප්‍රතික්‍රියා කිරීමට උනන්දු විය යුතු කාළය එළඹී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ සදහා නිවැරැදි ප්‍රතිපත්ති මත සිට නිවැරැදි විසදුම් සෙවීමට පියවර ගත යුතු බව ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසුවා.

මෙම නව පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය හොස්පිනෝම් (Hospinorm) ආයතනය සහ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම විසින් ඒකාබද්ධව පවත්වා ගෙන යනු ලබන අතර හොස්පිනෝම් ආයතනය ජර්මනියේ සහ ඩුබායි වල සිය මව් සමාගම් පවත්වා ගෙන යනු ලබනවා.

අති නවීනතම වෛද්‍ය උපකරණවලින් සමන්විත මෙම වෛද්‍ය රසායනාගාරයට පැයකට අදාළ පරීක්ෂණ සිදු කර වාර්තා 500 ක් නිකුත් කිරීමේ ධාරිතාවයක් ඇති අතර දිනක කාළයක් තුළ පී.සී.ආර්. වාර්තා 7,000 ක් නිකුත් කිරීමේ හැකියාවක් පවතිනවා.

ශ්‍රී ලංකාවේ මෙවැනි වෛද්‍ය පරීක්ෂණාගාරයක් පිහිටවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර වෛද්‍ය පරීක්ෂණාගාරයේ වැඩකටයුතු එළඹෙන 25 වැනි සෙනසුරාදා සිට ආරම්භ වන අතර, එතැන් සිට විදේශීය සංචාරකයන්ට හෝටල් නිරෝධනය අවශ්‍ය වන්නේ නැහැ.

එන්නත් දෙකම ලබා ගත්  ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්, මෙම පරීක්ෂණාගාරය වෙත පැමිණ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ගැනීමෙන් අනතුරුව, පැය 03 කට අඩු කාලයක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශවලට අනුකූල ඩිජිටල් පරීක්ෂණ වාර්තාවක් ලැබෙන අතර , එය ඍණාත්මක නම් එම සංචාරකයන්ට එතැන් සිට තම සංචාරය ආරම්භ කළ හැකි වෙනවා.

එසේම එක් එන්නතක් ලබා ගත් සංචාරකයන්ට සහ සංක්‍රමණික ගුවන් මගීන්ට ද තම පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ධනාත්මක නම්, දින 14 ක කාලයක් හෝටල් නීරෝධායනයට යොමු වීමෙන් අනතුරුව තම සංචාරය සදහා පිටත්ව යා හැකිය.

එමෙන්ම විදේශ රැකියාවල නිරත වී කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට ද ඉදිරි කාලයේ ඇමෙරිකානු ඩොලර් 40 ක මුදලක් ගෙවීමෙන් අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණයකට සහභාගී වී එහි ප්‍රතිඵලය ඍණාත්මක නම් ඔවුන්ට ද මෙම පරීක්ෂණාගාරයේ සිටම තම නිවෙස් බලා යාමට හැකියාව පවතිනවා.

ඒ අනුව මෙතෙක් කළක් කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව පැවති හෝටල් නීරෝධායනය අවසන් කිරීමට මෙම වෛද්‍ය රසායනාගාරය ඉවහල් වනු ඇති.

මෙම විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග , සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක , සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක පතිරගේ ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

(ටී.කේ.ජී.කපිල - කටුනායක)

Rate this item
(1 Vote)
Last modified on Thursday, 23 September 2021 16:37