May 13, 2024

ගුවන් යානයකට නැග්ග ඇමති ගම්මන්පිල අලුත් වැඩකට සැරසෙයි

September 16, 2021

ශ්‍රී ලංකාවේ මන්නාරම සහ කාවේරි ද්‍රෝණියේ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඛනිජ තෙල් සම්පත් ගවේෂණය පිණිස ප්‍රථමවරට ගුවන්යානා උපයෝගි කොට ගනිමින් ගුරුත්වාකර්ෂණ හා චුම්භක ක්ෂේත්‍ර දත්ත රැස්කිරීම හා සමීක්ෂණය පසුගියදා ආරම්භ වුණා. 

මෙම සමීක්ෂණය කරන්නේ එක්සත් රාජධානිය මූලස්ථානය කොට ගත් ලෝක ප්‍රකට භෞතික සමීක්ෂණ සමාගමක් වන බෙල් ජියෝස්පේස් (Bell Geospace) පෞද්ගලික සමාගම විසින්.

දිගු කාලීනව ලංකාවේ ඛනිජ තෙල් තිබිය හැකි ප්‍රදේශ බිම් කැබලි 20කට වෙන් කර තිබෙනවා.

තනි සමාගමකට එක් බිම් කැබැල්ලක් ගවේෂණයට දිගු කාලයක් හා විශාල මුදලක් වැය වෙන බැවින් බිම් කැබලි 20 කුඩා කොටස් 873 කට වෙන් කොට සිතියම නැවත සකස් කරනු ලැබුවා. 

ලංකාවට පැමිණෙන ඛනිජතෙල් ආයෝජකයින් තමන් ගවේෂණය සඳහා තෝරා ගත යුත්තේ කුමන කැබැල්ල දැයි තීරණය කිරීමට නම් එම කැබලිවල විද්‍යාත්මක දත්ත හා තොරතුරු අවශ්‍ය වෙනවා.

එසේ තොරතුරු සම්පාදනය සඳහා ගුවන්ගත ගුරුත්වාකර්ෂණ චුම්භක ක්ෂේත්‍ර සමීක්ෂණය සිදු මෙලෙස ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව හා බෙල් ජියෝස්පේස් සමාගම අතර ගිවිසුම අනුව ගවේෂණ මඟින් සොයා ගන්නා දත්ත රැස් කිරීමෙන් ශ්‍රී ලංකාවට තුන් ආකාරයක ප්‍රතිලාභ හිමිවන අතර මෙය විදේශ විනිමය උත්පාදන ව්‍යාපෘතියක් බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (15) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියා.

නව සැලැස්ම යටතේ රජයට කිසිදු වියදමක් නැතිව සීමිත දත්ත ප්‍රමාණයක් සහිත හෝ දත්ත රහිත භූමි ප්‍රදේශවල නවතම දත්ත හිමිවීම, සමීක්ෂණ පිරිවැය නැවත අයකර ගැනීමේ පදනම මත දත්ත විකිණීමෙන් වර්ධනාත්මක ආදායම් ප්‍රතිශතයක් ක්‍රමානුකූලව රජයට හිමිවීම ඉන් දෙකකි. 

තුන්වෙනුව මේ දත්ත පදනම් කරගනිමින් බෙල් ජියෝස්පේස් සමාගම ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් විභවය පිළිබඳව ජාත්‍යන්තර අලෙවි ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන නිසා ගෝලීය තෙල් හා ගෑස් සමාගම් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනවා.

ලබන මස ඛනිජ තෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් අනතුරුව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ස්ථාපනය කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ගෑස් හා ඛනිජ තෙල් ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජනය කරන මෙන් ලොව ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් සමාගම්වලට ආරාධනා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි උපයෝජනයෙන් පමණක් විදේශ ණය ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගත හැකි බව ගම්මන්පිළ මහතා පෙන්වා දෙනවා.

ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා, බෙල් ජියෝස්පෙස් ආයතනයේ අධීක්ෂණ නිලධාරි ඇන්ඩෘ ජෝෂප් සියර්ල් යන මහත්ම මහත්මීන්ද මෙම මාධ්‍ය හමුව වෙත එක්ව සිටියා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 September 2021 01:09