May 04, 2024

කබ්රාල්ගේ නව තනතුරට කොස්සක්: පත් වීමට එරෙහි පෙත්සමක්

September 14, 2021

අජිත් නිවාඩ් කබ්රාල් මහතා අනිද්දා (16) මහ බැංකු නව අධිපතිවරයා ලෙස වැඩ බාර ගැනීමට නියමිතයි.

ඒ සඳහා වූ ඔහුගේ පත්වීම් ලිපිය මේ වන විට ජනපතිවරයා විසින් ලබාදී අවසන්.

නීතිය හමුවේ අභියෝගයට

එහෙත් එම පත්වීම මේ වන විට අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙනවා.

ඒ ජනපතිවරයාගේ එම පත් කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින් ආඥාවක් ලබා ගැනීම සඳහා පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත්ව තිබීම නිසා.

එම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින්.

පෙත්සම අභියාචනාධිකරණයට

එම පෙත්සම අද (14) දහවල් අභියාචනාධිකරණ කාර්යාලය වෙත විද්‍යුත් තැපැල් මගින් යොමු කර තිබෙනවා.

එම පෙත්සම හෙට (15) විභාගයට ගන්නා ලෙසයි අදාල මෝසම මගින් ඉල්ලා තිබෙන්නේ.

පෙත්සම්කරු සිය පෙත්සමට පාදක කරගෙන තිබෙන්නේ බැඳුම්කර , අර්ථසාධක අරමුදල් වංචා කළ ලබැඳියාවන් අතර ගැටුම් සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ තනතුරු වලට පත් කිරීම සම්බන්ධයෙන් මැන්ඩමුස් ආඥාවක් ලබා ගැනීම යන පසුබිමයි.

පෙත්සමේ වැදගත් කරුණ

සිය පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා බලපෑ තවත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබෙන තෙන්නකෝන් මහතා ඒ අතරට වෝහාරික විගණන වාර්තාව මගින් හෙළි කර ඇති කරුණු සම්බන්ධයෙන් අපරාධමය චෝදනා එල්ල වී ඇති අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක යුතු බවත් සඳහන් කර තිබෙනවා.

ඔහු නැවත මහ බැංකු අධිපති ධුරයට පත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් වූ සාක්ෂි විනාශ කිරීමට ඇති ඉඩ වැළැක්වීම සඳහා ඔහු එම තනතුරට පත් කිරීම වළක්වා ලෙසද සිය පෙත්සමෙන් තෙන්නකෝන් මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න , ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසක් පෙත්සම වෙනුවෙන් අධිකරණයට හෙට (15) කරුණු ඉදිරිපත් කරනු ඇත.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 14 September 2021 20:55