May 03, 2024

රනිල්ගේ බෞද්ධකම ගැන එ.ජා.ප සභාපතිගෙන් අභියෝගයක්

September 12, 2021

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරම් බුදු සසුනේ දියුනුවට වැඩ කළ නායකයෙක් සිටිනවා නම් පෙන්වන ලෙස පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අභියෝගයක් කරනවා.

එ.ජා.ප සභාපතිවරයා එම අභියෝගය කරන්නේ වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස සිටියදී විහාරස්ථානවල දියුණුව සහ මහා සංඝරත්නය වෙනුවෙන් කළ වැඩ කොටසක් පෙන්වා දෙමින්.

මිලියන 7000 ක රක්ෂණය

"බුදු පුත්" සුරක්ෂා රක්ෂණ ක්‍රමය ආරම්භ කරමින් ඒ වෙනුවෙන් රු.මිලියන 7000ක් වෙන් කළ බව පෙන්වා දෙන පක්ෂ සභාපතිවරයා වික්‍රමසිංහ මහතාගේ පවුලේ උදවියද බුද්ධ ශාසනය වෙනුවෙන් කර තිබෙන වැඩ ගැන පැය ගණනක් වුනත් කතා කළ හැකි බවයි සඳහන් කරන්නේ.

කැලණි රජමහ විහාරය ගොඩනඟා එය ශාසනයට පරිත්‍යාග කළේ වික්‍රමසිංහ මහතාගේ මිත්තනිය බවද අබේවර්ධන මහතා පෙන්වා දෙන්නේ එය සසුනට පූජා කළ දිනද මතක් කරමින්.

ඒ 1946 දෙසැම්බර් 28 දින බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

බෞද්ධකම ගැන නැගෙන චෝදනාව

අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ එ.ජා.පය බුදු දහමට මුල් තැන නොදෙන අධිරාජ්‍යවාදී ගැති පක්ෂයක් ලෙස ජනතාව අතර මතයක් පැතිර වීමට ඇතැම් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ක්‍රියා කර තිබෙන බවට චෝදනා කරමින්.

වික්‍රමසිංහ මහතාගේ බෞද්ධකම ගැන මෙම කරුණු ඉස්මතු වී තිබෙන්නේ ඉකුත් සතියේ අබේවර්ධන මහතා හා ඔහු නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික් ජනතාව සමග පැවති සාකච්ඡාවකදී.

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 September 2021 08:23