May 03, 2024

ජවිපෙ ලොකු පිම්මකට ලෑස්තියි!

September 11, 2021

ජනතාවට විශ්වාස කළ හැකි බලවේගය ජනතා විමුක්ති පෙරමුණ බවත් ඒ වටා එකතු වෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ඒ වගේම ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩවලට ජනතාවට සහන නොදේ නම් දැවැන්ත විරෝධයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට අනතුරු අඟවනවා.

ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී ටිල්වින් සිල්වා මහතා පැවසූවේ රටේ පවත්වාගෙන යන ආර්ථීක සහ දේශපාලන වැරදි ප්‍රතිපත්ති වෙනස් කළ යුතු බවත් ජාවාරම්කාර අතළොස්සක් මහජන මුදල් ගසාකන, ඒ සල්ලිවලින් ආණ්ඩුව යැපෙන සහ ආණ්ඩුවේ පිරිසක් යටිමඩි ගහගන්න කොල්ලකාරී ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගත යුතු බවත්ය.

බරපතළ සමාජ ආර්ථික වෙනසක් 

ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ ප්‍රාජාතන්ත්‍රවාදීව, සාධාරණව බෙදාහරින ක්‍රමයක් අවශ්‍ය බවත් ඒ වගේම මහජන සේවකයක් බවට පත් කරගත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය කරන බවත් ඒ හැර එක නායකයෙක් වෙනුවට තව නායකයෙක් ගෙන එන ක්‍රමය වෙනස් කර බරපතළ සමාජ ආර්ථික වෙනසක් සිදුකරන්න අධිෂ්ඨාන කරගත යුතු බවත් ඔහු සඳහන් කරනවා.

එහිදී ඔහු මෙසේද අදහස් පළ කළා.

"ආණ්ඩුවක් කළ යුතුව තියෙන්නේ වසංගත තත්වයක් තුළ ජනතාවට සහන දීමයි. නමුත් ආණ්ඩුව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දරාගන්න බැරි තරම් ඉහළ යන්න ඉඩ ඇර ලබා දී තිබෙනවා. සාමාන්‍ය ජනතාවට ජීවත් වීමට ඉතාම අසීරු වෙලා. ඒ නිසා වහාම ජනතාවට සහන ලබාදිය යුතුයි කියලා බල කරන්න සිදුවෙනවා. කොරෝනා තත්වය නිසා ජනතාවගේ හඬ නගන්නවත් බැරිවෙලා තියෙන්නේ. සියලුම පීඩාවන් නිවාසවලට වෙලා දරාගන්න සිදුවී තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බලකර සිටිනවා අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිල අඩු කරන්න කියලා. වර්තමාන ආණ්ඩුවබලය ගත්තේ  සුරංගනා කතා ගොඩක් කියලයි. බඩුමිල අඩු කරන හැටි, මුදල් හොයන හැටි දන්නවා කියලා පම්පෝරි ගැහුවා. නමුත් දැන් අත්‍යවශ්‍යම ද්‍රව්‍යවල මිල පාලනය කරන්නවත් මැදිහත් නොවෙනවා නම් ඒක මොන ආණ්ඩුවක්ද? ව්‍යාපාරිකයන්ට ලාභ ලබාදීම සඳහා කටයුතු කරනවා මිස පොදු ජනතාවට සහන ලබා දෙන්නේ නැහැ. මෙය ඉතාමත්ම අසාධාරණ තත්වයක්. කොරෝනා පිට දාලා ආණ්ඩුවට ගැලවෙන්න බැහැ. බඩු මිල ඉහළ යාම පාලනය නොකිරීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි.

ආණ්ඩුවට කඬේ ගිය අයට ඇඳුම් ගැන ප්‍රශ්නයක් නැහැ

අත්‍යවශ්‍ය ඖෂධ මිලත් වැඩිවෙන්න ඉඩ ඇරලා. අගෝස්තු 19වැනිදා ගැසට් පත්‍රයක් කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගහලා තිබුණු මිලටත් වඩා ඖෂධ මිල වැඩිවෙන්න අවස්ථාව ලබාදුන්නා. මේකෙන් සිදුකළේ උපරිම මිලක් නියම කර තියෙන මිලටත් වඩා වැඩි කර දීමයි.

මේ අතර ශ්‍රී ලංකා මහබැංකුව සැප්තැම්බර් 09වැනිදා නිකුත් කළ නිවේදනයකින් හදිසි නොවන භාණ්ඩ, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කියලා නම්කළ ලයිස්තුවක් තියෙනවා. මේ භාණ්ඩ ආනයනය කිරීමේදී ණයවර ලිපි විවෘත කරන්න සම්පූර්ණ මුදලම බඳින්න ඕනෑ. මුලදී අත්තිකාරම් මුදලක් ගෙවා භාණ්ඩ ගෙනාවට පස්සේ සම්පූර්ණ මුදල ගෙවන්න හැකියාව කලින් තිබුණා. විදේශ විනිමය හිඟයක් තිබෙන නිසා මේ වගේ පැලැස්තර විසඳුම් යොදනවා. මේ නිසා භාණ්ඩ හිඟයක් වගේම තිබෙන භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමත් සිදුවෙනවා. මේ නිවේදනයෙන් දක්වා තිබෙන භාණ්ඩ ලයිස්තුවේ ජංගම දුරකතන වැනි කෝවිඞ් තත්වය හමුවේ අත්‍යවශ්‍ය දේවල් පවා තිබෙනවා. අධ්‍යාපන කටයුතු ලබන්න, ගෙදර ඉඳලා රාජකාරී කටයුතු කරන්න අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මේ වෙලාවේ දරුවන්ට උගන්වන්න ඕනෑ කරන ජංගම දුරකතන පවා මේ ලැයිස්තුවට දාලා තියෙනවා. මේ නිසා හිඟයක් ඇතිවී මිල වැඩි වීමෙන් සාමාන්‍ය ජනතාවට ගන්න බැරි තත්වයක් ඇතිවෙනවා. කොවිඞ් තත්වය හමුවේ හුමාලය අල්ලන්න අත්‍යවශ්‍ය වෙන ජලය උණු කරන උපකරණ පවා මේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම යට ඇඳුම් වැනි දේ ඇතුළත් කිරීමෙන් ආණ්ඩුව හාස්‍යයට ලක්වී තිබෙනවා. ආණ්ඩුව සහ ආණ්ඩුව වෙනුවෙන් කඬේ ගිය අයට නම් ඇඳුම් ගැන ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුව වගේ අනෙක් අයත් රෙදි නැතිව ඉන්නවා කියලා හිතනවා ඇති.

අතීසාරයට අමුඩ ගහනවා වගේ

ආරථිකය හැසිරවීම සඳහා දැක්මක්, වැඩපිළිවෙළක් නැහැ. සියලු නිෂ්පාදන මාර්ග දුර්වල කරලා කොල්ලකාරී ආර්ථිකය ක්‍රියාත්මක කරනවා. අපේ රට සතුව තිබුණු කර්මාන්ත විශාල ප්‍රමාණයක් විනාශ වෙන්න ඇරියා. නැත්නම් විකුණා දැම්මා. මේ නිසා ආදායම් මාර්ග ඇහිරී ණයට කාලා ජීවත් වෙන්න පුරුදු කළා. ඒ ණය ගෙවාගන්නවත් බැරි තත්වයක් දැන් තියෙන්නේ. ආදායම් උත්පාදනය නොකිරීමේ ප්‍රතිඵලයක් හැටියට මේ ණය ගෙවන්න රජයේ ආදායමට වඩා වැඩි මුදලක් වැය වෙනවා. වැරදි අර්ථික ප්‍රතිපත්ති විසින් මුදල් අච්චු ගහමින් බඩුමිල වැඩිවීමට තවත් අනුබල දී තිබෙනවා. රට තුළ නිපදවන වැඩපිළිවෙළකුත් නැතිව පිටින් ගේන එකත් නැවැත්වුවාම භාණ්ඩ හිඟයක් ඇතිවී මිල විශාල වශයෙන් වැඩි වෙනවා. අනවශ්‍ය වියදම් අඩුකර, ණය ගැනීම සීමා කර නිෂ්පාදනය වැඩි කරන කිසිම වැඩපිළිවෙළක් නැහැ. අතීසාරයට අමුඩ ගහනවා වගේ දවස ගෙවාගන්න මොනවා හරි කරනවා. මේ නිසා ප්‍රශ්නය තව තවත් වැඩිවී ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වෙනවා. ආණ්ඩුවක වගකීම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලකට පොදු ජනතාවට ලබා දීමයි. නමුත් ආණ්ඩුව වටේ ඉන්න ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුට සිනි බද්ද, පොල්තෙල් බද්ද, ඖෂධ උපරිම මිල නියම කිරීම ඇන්ටිජන් කිට් ගෙනත් ජාවාරම් කරන්න ඉඩ දීම වගේ ක්‍රියාමාර්ගවලින් අසීමිත ලාභ ලබන්න අවස්ථා ලබාදෙනවා. රටට ආදායම් මාර්ග ගේන ව්‍යාපාරිකයින් පවා ඉතාම අසීරු මට්ටමකට වැටී ණයවර ලිපි විවෘත කර ගැනීමට පවා නොහැකිව ඉන්නවා." යැයි ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 September 2021 12:46