May 02, 2024

අගමැතිගේ හිත දේශීය වෙදකමට!

September 05, 2021

පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මොණරාගල, සිරිගල පිහිටි රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීමේ අවස්ථාවට  අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළා.

එහිදී අගමැතිවරයා මෙසේද පැවසුවා.

දේශීය වෙදකම සංස්කෘතියේම කොටසක්

අපි දන්නවා එක පැත්තකින් දේශීය වෙදකම කියන්නෙ අපේ රටේ සංස්කෘතියේම කොටසක්. එදා බටහිර වෛද්‍ය ක්‍රම ජනප්‍රිය නැති කාලෙ ජනතාව සම්පූර්ණයෙන්ම සුවය ලැබුවේ දේශීය වෙදකමෙන්. දොස්තර මහත්තයා ගමට එන්න කලින් එදා ගම්වල වෙද මහත්තයෙක් හිටියා. ඕන ලෙඩකට දුකකට එදා පිහිටට හිටියෙ ගමේ වෙද මහත්තයා. අදත් සමහර ගම්වල ඒ වෙද පරම්පරාවේ ඉදිරියට ආපු වෙදමහත්වරු ඉන්නවා. ඒ වගේම එතැනින් තවත් ඉදිරියට ගියපු ආයුර්වේද වෛද්‍යවරුන් ඉන්නවා. දේශීය වෙදකම ප්‍රවර්ධනය කරන්න වෙනම රාජ්‍ය අමාත්‍යංශයක් පවා හඳුන්වලා දෙන්න අපි කටයුතු කළේ මෙහි තියෙන වැදගත්කම කල් තියා දැනගෙන. අපි දන්න විධියට ඒ අමාත්‍යංශය දේශීය සහ ආයුර්වේද වෙදකමට ලියාපදිංචි වුණ වෛද්‍යවරුන් විසි දහසක පමණ තොරතුරු දැන් අන්තර්ජාලයට යොමු කරලා තියෙනවා.

ගෝලීය වශයෙන් පිළිගන්නා දේශීය වෛද්‍ය මධ්‍යස්ථානයක්

දේශීය හා ආයුර්වේද වෙදකම මේ කාලේ ලොව පුරා ජනප්‍රිය වෙමින් යනවා. අපි එයින් උපරිම ප්‍රයෝජන ගන්න නම් දැන්ම තියලා ඊට සූදානම් වෙන්න ඕනි. අපි දන්නවා, පාකින්සන් , ආඝාත වැනි ස්නායු රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ගෝලීය වශයෙන් පිළිගන්නා දේශීය වෛද්‍ය මධ්‍යස්ථානයක් අපේ රටේ බිහිකරන්නත් දැනට සැලසුම් කරලා අවසන්. අද මේ විවෘත කරන රාජපුර රෝහලත් දේශීය වෙදකම වගේම ආයුර්වේදය මුල්කරගෙන ප්‍රතිකාර දෙන බව අපට දැනගන්න ලැබුණා. මේ රෝහලෙනුත් බෝනොවන රෝග රැසකට ප්‍රතිකාර දෙනන් පුළුවන් කියලයි ඒ අය කියන්නෙ. ඒ නිසා ඉදිරියේ දී දේශීය ප්‍රතිකාර ක්‍රම සොයාගෙන එන විදේශිකයන්ටත් මෙවැනි රෝහලකින් ප්‍රතිකාර ගැනීමේ පහසුව උදාවෙනවා.

හරි වෛද්‍යවරයා සොයාගැනීමේ ගැටලුවක්

ඖෂධීය ගහ කොළ යොදාගෙන වසෙන් විසෙන් තොරව නිෂ්පාදනය කරන ආහාර වර්ග , ඖෂධ වර්ග සහ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහාත් ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලුමක් තිබෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. එම ඉල්ලුම අපිට ජයගන්න පුළුවන්නම් එය රටේ ආර්ථිකයටත් විශාල හයියක්. අද ඇතැම්විට ජනතාවට නිවැරදි වෛද්‍යවරයා සොයාගැනීමේ ගැටලු තිබෙනවා. ඇතමුන් වෛද්‍යවරුන් වගේ ව්‍යාජ ලෙස හැසිරෙමින් ජනතාව රවට්ටනවා. තවත් සමහරු තමන්ට දැනුමක් නැති රෝගවලටත් බෙහෙත් දෙන්න ගිහිං රෝගීන් අමාරුවේ දානවා. මෙවැනි දෑ සමාජයෙන් ඈත් වෙන්න ඕනි කියලයි අපි විශ්වාස කරන්නෙ.

ඒ වගේම දේශීය වෙදකම, ආයුර්වේදය ආශ්‍රිත පර්යේෂණ දියුණ කරන්න. ඒවායේ ප්‍රතිඵල ලෝකයට කියන්න ක්‍රමයක් සකස් කරන්නැයි අපි අදාළ නිලධාරින්ට දැනටමත් උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා වෙනදා දක්නට නොමැති ප්‍රමිතියක් මේ හැමදේකම දකින්න ලැබෙයි කියන එකයි අපේ බලාපොරොත්තුව. බුදුරජාණන් වහන්සේ පවා ගිලනුන්ට උපස්ථානය තමන්ට කරන උපස්ථානයක් හා සම කොට සළකන්නැයි දේශනා කර තිබෙනවා. එදා අපේ දේශීය වෙදකමත් මුදල් බලාපොරොත්තුවෙන්ම සිද්ධ වුණ දෙයක් නෙමෙයි. " යැයි අගමැතිවරයා පැවසුවා.

Rate this item
(0 votes)