May 03, 2024

"මගේ සම්පූර්ණ සහය දෙනවා" - රනිල්ගෙන් ජනපතිට අගමැතිට යෝජනාවක්

වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකරමින් තව සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙස ජනාධිපති, අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට තමා යෝජනා කරන බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එන්නත් ලබාගන්නා ජනතාවගේ ප්‍රමාණය ඉහළ යන්නා සේම කොවිඩ් රෝගයට ගොදුරු වන පිරිසත් ඉහළ යමින් ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. 

රට තුළ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (26) ප්‍රකාශයක් නිකුත් කරමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළා.

එහිදී ඔහු මෙලෙස සඳහන් කර සිටියා.

"අමෙරිකා එක්සත් ජනපද ආධාර ඒජන්සියේ (US Aid) ප්‍රධානී සමන්තා පවර් මහත්මියට කතා කොට මෙරටට එන්නත් ලබාදෙන ලෙස ඉල්ලා සිටි මංගල සමරවීර මැතිතුමා අද අප ගෙන් සමුගෙන තිබෙනවා. මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු වූ රාජාමහේන්ද්‍රන් මැතිතුමාත්, ජනාධිපති නීතිඥ ඩී. එස්. විජේසිංහ, නීතිඥ ගෞරි තවරාසා මැතිණිය ඇතුළු ඔබ අප දන්නා හඳුනන බොහෝ දෙනෙකු කොවිඩ් වසංගතය හමුවේ ජීවිත අතහැර ගොස් තිබෙනවා,"

සංඛ්‍යාලේඛනවල ගැටලු

"කොවිඩ් වසංගතය රට පුරා අද වන විට සීග්‍රයෙන් පැතිරෙනවා. එන්නත් ලබාගන්නා ජනතාවගේ ප්‍රමාණය ඉහළ යන්නා සේම කොවිඩ් රෝගයට ගොදුරු වන පිරිසත් ඉහළ යමින් සිටිනවා. අගෝස්තු මාසය ආරම්භ වනවිට 5,000 ක සංඛ්‍යාවක පැවැති කොවිඩ් මරණ, මාසය අවසාන වනවිට 8,000ට ආසන්න වී තිබෙන බව දැකගත හැකියි. මේ සති කිහිපය තුළ කොවිඩ් මරණ සංඛ්‍යාව 3,000 ක් බවට පත් වුණා,"

"කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමේ සංඛ්‍යාලේඛනවලත් ගැටලු මතු වෙලා. ප්‍රමාද වී වාර්තා වුණු ආසාදිතයන් පිරිසක් පසුගියදා සංඛ්‍යා ලේඛනවලට එකවරම එකතු කළා. කොවිඩ් ආසාදනයවීම සීග්‍රයෙන් පැතිරයෑම නවතා ගත යුතුයි. අලුත් රෝගීන් ඇතිවීම නවත්වා ගැනීමට දැනට තිබෙන එකම මාර්ගය රට අගුළුදැමීම නොහොත් ලොක්ඩවුන් කිරීමයි. රජය මේ වනවිට දින 10ට රට වසා දමා තිබෙනවා. වෛද්‍ය උපදෙස් අනුව එය ප්‍රමාණවත් නෑ. අපේ සැබෑ පරමාර්ථය ඉටු කරගන්න නම් තව සතියක් දෙකක් රට වසා දැමීමකට යා යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේදී මෙම කාරණය ගැන වගකිවයුතු පාර්ශ්වයන් යළියළිත් සිතිය යුතුයැයි මම අවධාරණය කරනවා,"

සම්පූර්ණ සහාය හිමිවෙනවා

"රජය දින 10ට රට වසා දැමීමට ගත් තීරණයට අපේ සම්පූර්ණ සහාය හිමිවෙනවා. මෙතනදී තවත් පැත්තකින් ආර්ථික හානිය ගැනත් සිතාබැලිය යුතුයි. එතනදී ලොක්ඩවුන් එකකදී වන ආර්ථික හානියට වඩා ලොක්ඩවුන් එකක් නොමැති තත්ත්වයේ දී රටට වන ආර්ථික හානිය වැඩි බව පැහැදිලියි,"

ආර්ථික ගැටලුවට එකම පිළියම

"එම නිසා මේ ආර්ථික ගැටලුව විසඳාගන්න අපට තිබෙන එකම පිළියම ජාත්‍යන්තර මූල්‍ය අරමුල හෙවත් IMF සමඟ සාකච්ඡා කිරීමයි. ආර්ථික සහාය එතනින් අපට ලබාගත හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොවිඩ් අර්බුදයෙන් ඉදිරියට එන්න ඩොලර් කෝටි 72 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි. එම නිසා ජනාධිපති, අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට මම යෝජනා කරන්නේ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකරමින් තව සතියක් හෝ දෙකක් රට වසා දමන ලෙසයි," 

ඒ වෙනුවෙන් රටවාසීන් සියලුදෙනාගේ සහාය ලැබෙනු ඇතැයි ද මම තරයේ විශ්වාස කරනවා." යැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 August 2021 12:10