May 04, 2024

මේ පාරත් රනිල් අපිව ඇන්දුවා: සිරිකොත යළිත් ඇවිලෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් යළිත් වතාවක් එක්සත් ජාතික පක්ෂය තුළ ගිනි පුපුරු මතුවෙමින් තිබෙන බවයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය මුල් කොටගෙන.

ඉලක්ක වෙත ළඟා වීමට නොහැකි වීම

පසුගිය මහ මැතිවරණයේදී එ.ජා.ප යට ලැබුණු එකම මන්ත්‍රීධූරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම හරහා බලාපොරොත්තු වූ ඉලක්ක කිසිවක් ළඟාකර ගන්නවා තබා ඒ පිළිබඳව ඉඟියක්වත් පළ නොවීම සම්බන්ධයෙන් එ.ජා.පය තුළම මතයක් නිර්මාණය වෙමින් තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඉතා කෙටි කලකින් අවම වශයෙන් සමගි ජන බලවේගයේ 10 -15 අතර පිරිසකගේ සහය ලබාගෙන සමගි ජන බලවේගය තුළ අර්බුද ඇති කිරිම වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කළ යුතු යැයි යෝජනා සම්මත කළ අයගේ අරමුණ හා ඉලක්කය වුණා.

එක මන්ත්‍රී කෙනෙකුගේවත් සහය නැහැ

එහෙත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට වික්‍රමසිංහ මහතා ගෙන ආ සංශෝධනය සම්මත කර ගැනීමට සමගි ජන බල වේගයෙන් තබා සමස්ත විපක්ෂයෙන්ම මන්ත්‍රීවරයකු සොයා ගැනීමට වික්‍රමසිංහ මහතාට නොහැකි වීම සම්බන්ධයෙන් එ.ජා.පය තුළ බරපතළ කතිකාවතක් ඇති වෙමින් තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

සමගි ජන බලවේගයේ සැලකිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වික්‍රමසිංහ මහතා සමග එකතු වන බවට විශේෂයෙන්ම එ.ජා.ප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රසිද්ධියේම කළ ප්‍රකාශයද මේ වන විට එ.ජා.පය තුළ විහිළුවක් බවට පත් වී තිබෙන බවත් වාර්තා වනවා.

යළිත් සුපුරුදු රැවටිල්ල

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට මුල් වී කටයුතු කළ දැනට එ.ජා.පය තුළ ඉතිරිව සිටින ජේෂ්ඨයන්ද පවසන්නේ වික්‍රමසිංහ මහතා යළිත් වතාවක් සුපුරුදු ලෙස තමන්ව රැවටු බවයි.

වික්‍රමසිංහ මහතාව එ.ජා.ප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමත් සමග ඒ සඳහා සුදුසුකම් ලබා සිටි වික්‍රමසිංහ මහතා හා සමාන ජේෂ්ඨත්වයක් ඇති ජෝන් අමරතුංග මහතාද පක්ෂයේ දේශපාලන කටයුතු වලින් ඈත් වෙලයි සිටින්නේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මුහුණ දෙන පාස්කු ඉරු දින ප්‍රකාශය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙනුවෙන් මැදිහත් වී ඔහු හරහා සමගි ජන බලවේගය තුළ යම් ගැටුමක් නිර්මාණය කිරීමේ උත්සාහයක මේ දිනවල වික්‍රමසිංහ මහතා නිරතව සිටින බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(4 votes)
Last modified on Sunday, 01 August 2021 15:27