April 28, 2024

රනිල්ගේ සැලසුම් සුනේ සුන්: යෝජනාව ඒ අයුරින්ම අද විවාදයට

අද (19) බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.

ඒ සමගම විශ්වාසභංගය සම්බන්ධයෙන් වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුවද සුන් වී ගියා.

රනිල්ගේ යෝජනාව

සමගි ජන බලවේගය විසින් ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ මෙම විශ්වාසභංගය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් බවට පරිවර්තනය කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා අවසාන මොහොත දක්වාම දැඩි උත්සාහයක නියැළුණා.

එ.ජා.ප නායකයා එම පක්ෂයට අයත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට පෙර දිනයි මෙම විශ්වාසභංගය සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට භාර දුන්නේ.

අන් පක්ෂද ප්‍රශ්නයට පැටලවීම

මෙම විශ්වාසභංගය සමගි ජන බලවේගයේ විශ්වාසභංගයක් මිස පොදු විපක්ෂයේ විශ්වාසභංගයක් නොවන බවට මතයක්ද ගොඩනැඟූ වික්‍රමසිංහ මහතා එය තහවුරු කිරීම සඳහා ඊට ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අත්සන් නොකළ බවයි කියා සිටියේ.

තෙල් මිල වැඩි කිරීමට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ආ යුත්තේ බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව නොව ආණ්ඩුවට එරෙහිව බව දිගින් දිගටම සඳහන් කළ වික්‍රමසිංහ මහතා ඒ සඳහා විශ්වාසභංග යෝජනාවට කළ යුතු සංශෝධනයන් පිළිබඳව සොයා බැලීමේ වගකීම පක්ෂයේ නීතිඥ කණ්ඩායමකටත් පැවරුවා.

යෝජනාවට කිසිවෙකුගේ සහයක් නොලැබීම

එහෙත් වික්‍රමසිංහ මහතාගේ මෙම අදහසට විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකළ ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය පාර්ශවයන්ගෙන්වත් සහයෝගයක් නොලැබීම මත විශ්වාසභංගය සංශෝධනය කිරීමේ එ.ජා.ප නායකයාගේ සියලු බලාපොරොත්තු බිඳ වැටුණා.

ඒ අනුව බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය චෝදනා 10 ක් ගොනු කරමින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ඒ අයුරින්ම අද (19) විවාදයට ගැනෙන අතර විවාදය හෙටද (20) පැවැත්වීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 July 2021 22:45