April 28, 2024

කොටසක් ආණ්ඩුවෙන් එලියට? ශ‍්‍රීලනිපය තීන්දුවක් ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුකු බව එම පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කර තිබෙනවා.

අවශ්‍ය නම් ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ආණ්ඩුවේම සිටිමින් ආණ්ඩුව සමග වැඩ කටයුතු කළ හැකි බවත් සෙසු පිරිස ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් පක්ෂය අලුතින් ගොඩ නැගිය යුතු බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හමුවේ අදහස් පළ කරමිනි.

ආණ්ඩුවට සම්බන්ධ පක්‍ෂයක් වුවද අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කටයුතුවලට හවුල් නොකර පැත්තකට දමා ඇති බවත් එනිසා ගම්වල පාක්ෂිකයන්ට මුහුණ දී ගත නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

මෛත්‍රී පස්ස ගහයි

කෙසේ වෙතත් එහි දී පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තවත් දවසක සාකච්ඡා කර තීන්දු වක් ගත යුතු බවයි.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති වී තිබෙන ගැටලු ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් යොදාගෙන තිබෙනවා. එම සාකච්ඡාව එළඹෙන 21 වන දා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ හවුල් කාර පක්ෂයක් ලෙස කටයුතු කරන අතර එම පක්ෂයේ නායකයින් පසුගිය කාලය පුරා ආණ්ඩුවෙන් තමන්ට දුන් පොරොන්දු ඉටු නොකිරීම ගැන කළකිරීමකින් පසුවිය.

පක්ෂ නායකයාට තනතුරක් දීම, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් නොසලකා හැරීම, කැබිනට් තනතුරු බෙදීමේදී සිදුවූ නොසලකා හැරීම් ඒ අතර ප්‍රධාන කාරණා ලෙස එම පක්ෂය සඳහන් කර තිබෙනවා.

මේ හේතුවෙන් එම පක්ෂ නායකයින් දිගුකලක් ආණ්ඩුව පිළිබඳ කළකිරීමෙන් පසුවුණා. එනිසා පක්ෂයේ ඇතැම් දෙනා ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි. තවත් පිරිසක් ආණ්ඩුවේ සිටිමින් කටයුතු කරන ලෙස ඉල්ලා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 July 2021 05:13