May 12, 2024

මෝස්තර නිරූපණ නෝනට අගමැතිතුමා දීලා තියෙන්නේ හැමෝටම දෙන තනතුරක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ධුරයට කෞෂි වෙඩික්කාරආරච්චි නම් මෝස්තර නිරූපණයට බර මහත්මියක් පත්කර ගැනීමට සෑහෙන ප්‍රසිද්ධියක් ලැබුණා.

ඒ සම්බන්ධයෙන් ලැබෙමින් තිබෙන අලුත්ම තොරතුරු වලට අනුව එම තනතුර අග්‍රාමාත්‍යවරයා පොදුවේ බොහෝ දෙනකුට දී තිබෙන සම්බන්ධීකරණ තනතුරක් බවයි වාර්තා වන්නේ.

පොදුවේ ලබාදෙන සම්බන්ධීකරණ ධුරයක්

අග්‍රාමාත්‍යවරයා මේ වනවිටත් මේ ආකාරයේ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් දුර 100කට ආසන්න ප්‍රමාණයක් ලබාදී ඇති අතර එම සම්බන්ධීකරණ දුර හඳුන්වන්නේ ස්වෙච්ඡා සම්බන්ධීකරණ දුර ලෙසයි.

අග්‍රාමාත්‍යවරයා ජනපතිවරයා ලෙස කටයුතු කරද්දී මෙවැනි සම්බන්ධීකරණ ලේකම් දුර 200 කට වැඩි ප්‍රමාණයක් දී තිබුණා.

ලැබුණු තනතුරට උපරිම ප්‍රසිද්ධියක් දීම

වෙඩික්කාරආරච්චි මහත්මිය තමන්ට ලැබුණු මේ ආකාරයේ සම්බන්ධීකරණ ලේකම් ධූරය ලැබී සුළු වේලාවක් යන්නටත් මත්තෙන් සිය මුහුණු පොත හරහා ඊට විශාල ප්‍රචාරයක් ලබාදීම නිසා ඒ ගැන බොහෝ දෙනෙකු කතා කරන්නට පටන් ගත්තා.

ඒ හරහා වෙඩික්කාරආරච්චි මහත්මිය සමාජගත කළේ අග්‍රාමාත්‍යවරයාගේ නව සම්බන්ධීකරණ ලේකම්වරිය තමා බවයි.

වෙඩික්කාරආරච්චි මහත්මිය තමන්ට ලැබුණු මෙම ධුරයට ලබාදුන් අසීමිත ප්‍රචාරය නිසා බොහෝ දෙනකු ඒ ගැන අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු විමසා ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

දැනගන්නට තිබෙන ආකාරයට සම්බන්ධීකරණ ධූරය සඳහා වූ ඉල්ලුම් පත්‍රය ලබාදී තිබෙන්නේ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතාටයි.

කාර්යය මණ්ඩලයේ ලොක්කෝ දන්නෙත් නැහැ

මෙම පත්වීම සාමාන්‍ය සම්බන්ධීකරණ ලේකම් පත් වීමක් නිසා ඒ ගැන අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා හෝ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා හෝ දැනගෙන නොසිටි බවයි දැනගන්නට තිබෙන්නේ.

වෙඩික්කාරආරච්චි මහත්මියගේ සැමියා ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපතිවරයා වන අතර වෙඩික්කාරආරච්චි මහත්මිය මෝස්තර නිරූපණ ශිල්පිණියක් මෙන්ම එක්තරා ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනී නිවේදිකාවක් ලෙසද කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 July 2021 00:15