May 13, 2024

"ගිය ආණ්ඩුවට මම කළ දේවල් අද මටම පළ දීලා" - තෙල් ඇමතිට කර්මය සිහිවෙයි

පළ දුන් කර්මය

පසුගිය යහපාලන ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනා 05න් 04ක්ම සකස් කළේ තමා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

විපක්ෂයේ පළමු විශ්වාසභංග යෝජනාවට තමා ඉලක්කය වී ඇත්තේ එම නිසා වන්නට ඇති බවත්, තමන්ට පළ දී ඇත්තේ දිට්ඨධම්මවේදනීය කර්මය බවත් ඔහු සඳහන් කරනවා.

තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් සිදු කළේ පණිවිඩකරුවාගේ කාර්යභාරය පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒක අපේ අම්මාගෙන් අහන්න

මේ අතර මාධ්‍යවේදීන් උදය ගම්මන්පිල මහතාගෙන් විමසා සිටියේ විශ්වාසභංගයට බය ද යනුවෙන්.

එයට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා පිළිතුරු ලබා දුන්නේ තමන් ජීවිතේ කිසිදිනෙක බිය වී නොමැති බව යි.

එය විශ්වාස නොමැති නම් සිය මවගෙන් අසා දැනගන්නා ලෙස ද අමාත්‍යවරයා පවසා සිටියා.

“දැකලා තියෙනවද මගේ මූණේ බයක්? එකම එක දවසක? වේදනාවක්? හැමදාම ඉන්නේ මේ වගේ සැහැල්ලුවෙන් තමයි” යනුවෙන් ඔහු පිළිතුරු ලබා දුන්නා.

ඒක අදයි දන්නේ

මේ අතර ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා අද දින සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

තෙල් මිල වැඩි කිරීම සිදු කරන ලද්දේ ගම්මන්පිල අමාත්‍යවරයා විසින් බවත්, එයට ආණ්ඩුවේ කැමැත්තක් නොමැති බවත් ලොකුගේ අමාත්‍යවරයා පවසා සිටි අතර ඒ සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැන්නක්.

“මම ආණ්ඩුව කියලා කියනවා නම් මම හරි සන්තෝසයි. මම දැනන් හිටියේ නෑ මමයි ආණ්ඩුව කරන්නේ කියලා. කවුරුහරි එහෙම කියනවා නම් මම හරි සන්තෝසයි.”

බැසිල් සමග සාකච්ඡා

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා සහ තමා අතර සාකච්ඡාවක් පැවැති බවට පැතිර යන පුවත් සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා අදහස් පළ කළේ, තමන් ද එවැනි සාකච්ඡාවක් ගැන දැනගත්තේ පත්තරෙන් බවට යි.

බලශක්ති අමාත්‍යංශයෙන් කොටසක් වෙනත් අයෙකුට ලබා දීමේ සූදානමක් පවතින්නේ ද යනුවෙන් මාධ්‍යවේදීන් විමසූ විට, තමන් ඉපදෙන විට අමාත්‍යධූර රැගෙන ආවේද නොමැති බවත්, මියයන විට අමාත්‍යධූර රැගෙන යන්නේ ද නොමැති බවත් අමාත්‍ය ගම්මන්පිල මහතා අවධාරණය කළා.

Rate this item
(2 votes)
Last modified on Sunday, 11 July 2021 20:24