April 28, 2024

ආණ්ඩුවල රූකඩ හැටියට වැඩ කළ විපක්ෂ නායකවරුත් ඇති: මම එහෙම නැහැ - විපක්ෂ නායක කිව්වේ රනිල්ටද?

"ආණ්ඩුවේ රූකඩ හැටියට වැඩ කළ විපක්ෂ නායකවරු ඉන්න ඇති.මම එහෙම නැහැ." යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ආණ්ඩුව එල්ල කළ චෝදනාවකට පිළිතුරු දෙමින්.

හෙට (9) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයේදී විවාදයට ගත යුත්තේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාවද එසේත් නැතිනම් ආණ්ඩු පක්ෂයේ රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාවද යන්න පිළිබඳ විනාඩි 30කට ආසන්න කාලයක් ඇදී ගිය ප්‍රශ්නයක් මුල්කොටගෙන මෙම රූකඩ කතාව කරළියට ආවා.

ආණ්ඩුවෙන් එල්ල කළ රූකඩ චෝදනාව

එහිදී විපක්ෂ නායකවරයා අනුර කුමාර දිසානායක මහතාගේ සහයට ඉදිරිපත් වෙමින් කතානායකවරයා අමතා "ඔබ කාගෙවත් රූකඩයක් වෙන්න යන්න එපා.එහෙම වුනොත් ලෝකය පුරා මිනිස්සු කියයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වරයා රූකඩයක් කියලා " යයි චෝදනා මුඛයෙන් ප්‍රකාශ කළා.

ඊට පිළිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කළේ "කතානායක නෙමෙයි රූකඩය.ඔබනේ දැන් අනුර කුමාර දිසානායකගෙ රූකඩයක් හැටියට කටයුතු කරන්නේ" යන්නයි.

විපක්ෂ නායකවරයාගේ ප්‍රතිචාරය

ඊට ප්‍රතිචාර දක්වමින් ඉතා ආවේගශීලීව කතා කල විපක්ෂ නායකවරයා "මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇති ආණ්ඩුවල රූකඩ හැටියට වැඩ කරපු විපක්ෂ නායකවරු.ඒත් මම එහෙම නැහැ.මම කාගෙවත් රූකඩයක් නෙමෙයි." යයි සඳහන් කළේ ඉතා දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාද මේ වනවිට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන පසුබිමක් තුළය.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ රූකඩ නටවන හැටිද අභිනවයෙන් ඉදිරිපත් කරමින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 July 2021 12:42

Related items