April 28, 2024

පක්ෂ හදන්න යන වෙල්ගමට වෙන දේ ගැන ශ්‍රීලනිප මහ ලේකම්ගෙන් ඉඟියක්

සමගි ජන බලවේගය තුළ සිටිමින් වෙනත් අරමුණු සඳහා වෙනත් පක්ෂ බිහි කිරීමට කටයුතු කරන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට ඔහුට ඡන්දය දුන් කලුතර දිස්ත්‍රික් ජනතාව නිසි ප්‍රතිචාර දක්වනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා ඒෂියන් මිරර් වෙත අවධාරණය කරනවා.

ඡන්දය දුන් ජනතාවට කරන ද්‍රෝහිකමක්

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා තමන් නියෝජනය කරන සමගි ජන බලවේගය තුළ සිටිමින් නව පක්ෂයක් පිහිටුවීමට කටයුතු කිරීම ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත් වීම සඳහා ඡන්දය දුන් ජනතාවට කරන ද්‍රෝහිකමක් ලෙස හඳුන්වා දෙන මහ ලේකම්වරයා එමඟින් සමගි ජන බලවේගය තුළද අර්බුදයක් නිර්මාණය වන බවයි පෙන්වා දෙන්නේ.

වෙල්ගම නිසා ජ්‍යෙෂ්ඨයනුත් ගෙදර

පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරග වැදුන කුමාර වෙල්ගම මහතාට ඡන්දය දුන්නේ එක්සත් ජාතික පාක්ෂිකයින් බව මතක් කර දෙන මහ ලේකම්වරයා අජිත් පී පෙරේරා වැනි ජ්‍යෙෂ්ඨයන්ටද වෙල්ගම මහතා නිසා ගෙදර සිටීමට සිදු වූ බවයි අවධාරණය කරන්නේ.

ශ්‍රී.ල.නි.ප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ අදහස් පළ කළේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා "අපි ශ්‍රී ලංකා" නමින් නව පක්ෂයක් ලියා පදිංචි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින්.

වෙල්ගමට එහෙම අයිතියක් නැහැ

ශ්‍රී.ල.නි.ප නම අවභාවිත කරමින් ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයින් නොමඟ යවමින් "අපි ශ්‍රී ලංකා" නමින් පක්ෂයක් ලියාපදිංචි කිරීමට නීත්‍යානුකූල අයිතියක් වෙල්ගම මන්ත්‍රීවරයා නැති බව තමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත පෙන්වා දුන් බවයි මහ ලේකම්වරයා සඳහන් කරන්නේ.

අවම තරමින් කුමන හෝ පක්ෂයක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය මූලික සුදුසුකම්වත් වෙල්ගම මන්ත්‍රීවරයා සපුරා නැති බවයි මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

තමා ඒ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත කරුණු සහිතව පෙන්වා දුන් බව මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

කුමාර වෙල්ගම මහතා දැනට නායකත්වය දරනවා යැයි කියන නව ලංකා නිදහස් පක්ෂය ලියාපදිංචි පක්ෂයක් නොවන බවයි මහලේකම්වරයා පෙන්වා දෙන්නේ.

චන්ද්‍රිකාගේ උපන් දිනයදා පත්තු කළ බෝම්බය

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඉකුත් මස 29 වැනි දිනට යෙදී තිබුණු හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 76 වැනි උපන් දිනය වෙනුවෙන් දානමය පින්කමකට සහභාගිවීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන පක්ෂයක් "අපි ශ්‍රී ලංකා" නමින් ගොඩනඟා ලියාපදිංචි කරන බව ප්‍රසිද්ධියට පත් කළා.

එම පක්ෂය හරහා වමේ මිනිහෙක් හැටියට සියලු බලවේග ඒකරාශී කොට ඉදිරියට යෑම සිය අරමුණ බවයි වෙල්ගම මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 July 2021 11:26

Related items