May 04, 2024

මෛත්‍රීගේ නිවසේ හදිසි සාකච්ඡාවක්! ප්‍රබලයින් රැස් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හදිසියේම එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (08) දිනයේ රැස්වීමට නියමිතයි.

පක්ෂයේ ඉදිරි කටයුතු සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(06) පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී පවත්වා තිබුණා.

මධ්‍යම කාරක සභාවේ දී සාකච්ඡා කළ යුතු කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන් වනවා.

බැසිල්ගේ නම ගැසට්ටුවට

මේ අතර පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කෙරුණු බැසිල් රාජපක්ෂ මහතාගේ නම අද දිනයේ ගැසට් කරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ මැතිවරණ කොමිසම අද පෙරවරුවේ රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ නම ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කෙරෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා හෙට දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට සැලසුම් කර ඇති බවටද වාර්තා වනවා.

Rate this item
(0 votes)