May 19, 2024

මට ඔත්තුවක් ආවා, මම හෙව්වා - පොහොර මෙට්‍රික් ටොන් 102000 හංගලා - මහින්දානන්ද

පොහොර සමාගම් සතුව පොහොර මෙට්‍රික් ටොන් 102000 ක් තිබෙන බව මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ අදාළ සමාගම් වල නම් ගම් සහ සඟවාගෙන සිටින පොහොර ප්‍රමාණයන්ද සහිතවයි.

දිගින් දිගටම පොහොර නොමැතිකම ගැන ලැබෙන චෝදනාවන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටි තමාට තොරතුරක් ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී මෙම තොරතුරු අනාවරණය කර ගත් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සමාගම් උපදෙස් පිළිපැද්දේ නැහැ

එම සමාගම් මෙම පොහොර ප්‍රමාණය නොබෙදා තබාගෙන සිටි බවට චෝදනා කරන අමාත්‍යවරයා ගොවියාට නිසි වේලාවට පොහොර යවන ලෙස සිය අමාත්‍යාංශයේ ලබාදුන් උපදෙස් මෙම සමාගම් පිලි නොපැද්ද බවද පෙන්වා දෙනවා.

එනිසා විෂය භාර අමාත්‍යවරයාත් සම්බන්ධ කොටගෙන මෙම සමාගම් ගෙන්වා සතියක් ඇතුලත පොහොර ප්‍රමාණයන් අදාල ගොවිජන මධ්‍යස්ථාන වෙත ලබාදිය යුතු බවට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා හෙළි කරනවා.

සමාගම් සඟවාගෙන සිටි ගණන

සී.අයි.සී සමාගම සතුව මෙට්‍රික් ටොන් 21000 , බවර් සමාගම සතුව මෙට්‍රික් ටොන් 8000 , හේලීස් සමාගම සතුව මෙට්‍රික් ටොන් 28000 ඒ අතර තිබූ බවයි අමාත්‍යවරයා හෙළි කරන්නේ.

මෙම තොරතුරු වල පිටපත් විපක්ෂ නායකවරයාට මෙන්ම අනුර කුමාර දිසානායක මහතාටත් ලබාදෙන බව සඳහන් කළ අමාත්‍යවරයා එය සභාගත කරන බවද අවධාරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 July 2021 11:13