April 28, 2024

කලකින් අහපු හොඳම කතාව : සජිත් මාස 10ක් කිව්ව දේවල් රනිල් විනාඩි ගානෙන් කිව්වා - කුමාර වෙල්ගම

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමෙන් පසු කල කතාව තමාගේ දීර්ඝකාලීන පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කලකින් ඇසූ හොඳම කතාවක් බවයි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ලක්ෂ්මන් කදිරගාමර්ගේ කතාව

තමාගේ 27 වසරක පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවිතය තුළ මීට පෙර මෙවැනි කතාවක් ඇසුවේ අනුර බණ්ඩාරනායක හා ලක්ෂ්මන් කදිරගාමර් යන මහත්වරුන් අතර පාර්ලිමේන්තුවෙ ඇතිවූ අදහස් හුවමාරු වීමකින් පසු කදිරගාමර් මහතා සභාව අමතා කළ කථාව බවයි වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ මීට බොහෝ කලකට පෙර බවයි වෙල්ගම මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

සජිත් කාලයක් කියපු ටික

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා හැටියට විශේෂයෙන්ම කොවිඩ් වසංගතය ගැන පාර්ලිමේන්තුව තුළ සතුටු විය හැකි කාර්ය භාරයක් ඉටු කලත් ඔහු විපක්ෂ නායකවරයා ලෙස මාස 10ක් පුරාවටම පැය ගණනක් කියූ ටික වික්‍රමසිංහ මහතා විනාඩි හත අටකදී පාර්ලිමේන්තුව අමතා ඉතා නිරවුල්ව කෙටියෙන් කිවූ බවයි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාගේ අදහස වන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දේශපාලන වශයෙන් ප්‍රතිපත්ති පරස්පරතා තිබුණද ඔහුගේ දේශපාලන පරිණත බවට කිට්ටු වීමට හැකි වෙනත් කිසිවකු නැති බවයි වෙල්ගම මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේග මන්ත්‍රීවරයෙකු වන කුමාර වෙල්ගම මහතා මේ අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

රනිල් දිවුරුම් දීම

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ඉකුත් ජූනි මස 23 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.

එහිදී වික්‍රමසිංහ මහතා කළ කතාව පදනම් කර ගෙනයි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන්නේ.

Rate this item
(7 votes)
Last modified on Saturday, 03 July 2021 10:04

Related items