May 13, 2024

"අපිව ඕනෙ ඒකට විතරද?" - ආණ්ඩුවේ පසුපෙළ ඇවිස්සෙයි

රාජ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන් තමන්ව ගණන් නොගන්නා බවට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් චෝදනා කරනවා.

ඇතැම් අමාත්‍යංශ ලේකම්වරුන් හා සමහර ආයතන ප්‍රධානීන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිසිසේත් ගණන් නොගන්නා බවයි ඔවුන් පවසන්නේ.

මෙම ගැටළුව පිළිබඳවත්, එම නිසා තමන් රටේ පොදු ප්‍රශ්න විසඳීමට කිසිසේත්ම මැදිහත් නොවන බවටත් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීන් 25 දෙනෙක් පමණ ආණ්ඩු පක්ෂය ප්‍රධාන සංවිධායකවරයාට පැමිණිලි කර ඇති බව ද වාර්තා වනවා.

මෙම මන්ත්‍රී පිරිස පසුගියදා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මුණගැසී ඇති අතර රටේ පොදුජන ප්‍රශ්න ගැන රජය සංවේදී නොවීම නිසා තමන්ට ජනතාවට මුහුණදීමට නොහැකි වී ඇති බව ද පවසා තිබෙනවා.

ඉන්ධන මිල, පොහොර හිඟය, ප්‍රාදේශීය සංවර්ධන අවශ්‍යතා ඉටු නොකිරීම ආදිය මෙහි දී දැඩිව මතු කර ඇති කරුණුවන අතර තමන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන රාජ්‍ය නිලධාරීන් ගැන කොපමණ පැමිණිලි කළත් වගකිවයුතු අය ඒවා තඹයකට ගණන් නොගැනිම ලොකු අර්බුදයක් බවයි මන්ත්‍රී පිරිස ප්‍රකාශ කොට ඇත්තේ.

ඇතැම් ප්‍රදේශවල මහ දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් පවා රජයේ සැලසුම් පසුපසට අදින බව ඔවුන් චෝදනා කර තිබෙනවා.

තමන්ගේ සාධාරණ ඉල්ලීම්වලට සංවේදී නොවන ආණ්ඩුවට තමන් අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ ඡන්ද දීමට පමණක්ද යනුවෙනුයි ඔවුන් වැඩිදුරටත් විමසා ඇත්තේ.

Rate this item
(0 votes)

Related items