May 12, 2024

පෙරළියක පෙර නිමිති: මහින්ද - රනිල් හදිසියේ හමුවෙයි

අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කෙටි හමුවක් සිදුව ඇතැයි වාර්තා වනවා.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දීයි. 

මෙම හමුව සිදුවූයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී ප්‍රථම කතාව පැවැත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සංකීර්ණයේ දෙවැනි මහලේ ලොබියට පැමිණි අවස්ථාවේදීය.

යළි පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී මහින්ද රාජපක්ෂ මහතා උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාට අමතරව රාජකීය විද්‍යාලයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සමකාලීන මිත්‍රයකු වූ සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා.

මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ඉඟියක්

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ‍පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ආශීර්වාද ලබාගැනීම සඳහා නාරාහේන්පිට අභයාරාමය වෙත පැමිණියා.

රාජපක්ෂ කඳවුරට දැඩි ලෙස හිතවාදී ස්ථානයක්වන අභයාරාමයට වික්‍රමසිංහ මහතා මෙලෙස පැමිණීම බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණු සිදුවීමක් වූවා.

එහිදී වික්‍රමසිංහ මහතා අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ යනු මෙරට පාර්ලිමේන්තුව තුළ අනිවාර්යයෙන්ම සිටිය යුතු පුද්ගලයෙකු බවයි.

ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ තමන් වහන්සේ දැඩි ලෙස සතුටුවන බවත් එය සෑම සියළු දෙනාටම යහපත් ලෙස බලපාන සිදුවීමක් බවත් ආනන්ද හිමියන් පවසා සිටියා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ හිසත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ශරීරයත් එකතු කළොත් මෙරටට විශාල සේවයක් සිදුවන බව උන්වහන්සේ ප්‍රකාශ කළා.

එය මෙරට ජනතාව පවසන දෙයක් බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 25 June 2021 00:22