May 12, 2024

රනිල් - මහින්ද එකට ගමනක්? කලකිරුණු මුරුත්තෙට්ටුවේ හිමිගෙන් අමුතු ඉඟියක්!

රටේ පාලක පක්ෂය අධාර්මික නම්, හමන හුළඟත්, වහින වැස්සත්, සොබාදහමත් වෙනස් වෙතැයි බුදුගුණ අලංකාරයේ සඳහන්වන බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අමතමින්.

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ආශීර්වාද ලබාගැනීම සඳහා අභයාරාමය වෙත පැමිණියා.

රාජපක්ෂ කඳවුරට දැඩි ලෙස හිතවාදී ස්ථානයක්වන අභයාරාමයට වික්‍රමසිංහ මහතා මෙලෙස පැමිණීම බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණු සිදුවීමක් වූවා.

මෙම හමුවේ දී ආනන්ද හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ යනු මෙරට පාර්ලිමේන්තුව තුළ අනිවාර්යයෙන්ම සිටිය යුතු පුද්ගලයෙකු බවයි.

ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ තමන් වහන්සේ දැඩි ලෙස සතුටුවන බවත් එය සෑම සියළු දෙනාටම යහපත් ලෙස බලපාන සිදුවීමක් බවත් ආනන්ද හිමියන් පවසා සිටියා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ හිසත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ශරීරයත් එකතු කළොත් මෙරටට විශාල සේවයක් සිදුවන බව උන්වහන්සේ ප්‍රකාශ කළා.

එය මෙරට ජනතාව පවසන දෙයක් බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

යහපාලන ආණ්ඩුව තුළින් රට විනාශවන බව එකල ජනතාවද තමන් වහන්සේද සිතූ බව ආනන්ද හිමියන් සිහිපත් කළා.

උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන්වහන්සේලාගේ ද මගපෙන්වීම යටතේ එම රජය පෙරළා දමා ජනතාව විසින් නව නායකයෙකු පත්කරගත්ත ද “ඔබවහන්සේලා පත්කරගත්ත මේ නායකයෝ කවුද” යනුවෙන් එම ජනතාවම තමන්වහන්සේලාට වර්තමානයේ දී චෝදනා කරන බව යි.

එමෙන්ම අදවන විට මුලු කැබිනට් මණ්ඩලයම ප්‍රාණ ඇපකරුවන් බවට පත් වී සිටින බව ද ඒ හරහා රටේ සහ ජනතාවගේ ප්‍රශ්ණ ගැන කතා නොකර තමතමන්ගේ ආරක්ෂාව සළසාගන්නා බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

“ඔබ මේ රටේ අයිතිකරුවා නොව ඔබ මේ රටේ භාරකරුවා යි” යනුවෙන් මිහිදු හිමියන් දේවානම්පියතිස්ස රජුට පැවසූ බව ද ආනන්ද හිමියන් සිහිපත් කර සිටියා.

පැරණි පාක්ෂිකයින් සහ අනෙකුත් ජනතාව කුමනාකාරයෙන් කල්පනා කළ ද රනිල් වික්‍රමසිංහ මහතාට හොඳ බුද්ධියක් සහ දුර දක්නා නුවනක් තිබෙන බව තමන්වහන්සේ විශ්වාස කරන බව ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 July 2021 06:28