May 11, 2024

රනිල් වෙනස් වෙලා: හොදම මිතුරා ළඟ වාඩිවෙන්න බැහැමලු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පාර්ලිමේන්තුවේ පනවා තිබූ අසුන වෙනස් කොට ගෙන ඇති බැව් හෙළිදරව් වනවා.

ඒ කතානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

16 එපා කියයි

පක්ෂ නායකයෙකු ලෙස වික්‍රමසිංහ මහතාට විපක්ෂයේ ඉදිරි පෙළ අසුනක් හිමි වන අතර ඒ අනුව ඔහුට හිමිව තිබුණේ 16 වැනි අසුනයි.

එහෙත් වික්‍රමසිංහ මහතා තමාට වෙන අසුනක් ලබා දෙන ලෙස කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කොට තිබෙන අතර ඒ අනුව කතානායකවරයා ඔහුට විපක්ෂයේ ඉදිරි පෙළ 13 වැනි අසුන ලබා දී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු අසුන් ගත්තේ මෙම නව අසුනේය.

කලින් අසුනට ලැබුණු ප්‍රසිද්ධිය

වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමටත් ප්‍රථම ඔහුට අසුන් ගැනීමට පනවා ඇති ආසනය සම්බන්ධයෙන් මාධ්‍ය තුළ කතිකාවතක් ඇති වූයේ එම අසුන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට පනවා ඇති අසුනට යාබද අසුන වීම හේතු කොටගෙනයි.

කොළ අලියා සහ රතු අලි

විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරූ යහපාලන ආණ්ඩු සමයේ රනිල් වික්‍රමසිංහ මහතා සහ අනුර කුමාර දිසානායක මහතා අතර ඉතා කිට්ටු සබඳතාවයක් තිබූ බවට රාවයක් පැතිර යාම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් "රතු අලි පැටව්" ලෙස ඇතැම්  දේශපාලන කණ්ඩායම් ප්‍රසිද්ධියේම හැඳින්වූවා.

විශේෂයෙන්ම 2018 ඔක්තෝබර් මස සිදු වූ දින 52 ආණ්ඩු පෙරලියදී රනිල් වික්‍රමසිංහ මහතාව යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජ.වි.පෙ විශාල කාර්ය භාරයක් කළ බවට මතයක්ද එකල රට තුළ ඇතිව තිබුණා.

පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම සිදුවන්නේ කථානායකවරයාගේ උපදෙස් මතය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 June 2021 10:29