May 10, 2024

තමන්ට සුබ පැතු ආණ්ඩුවට රනිල්ගෙන් බර අවි ප්‍රහාරයක්: රට හමුදා පාලනයකට යට කරලා

යළිත් පාර්ලිමේන්තු ජීවිතයක් ආරම්භ කිරීමට ලැබීම ගැන තමාගේ සතුට ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.

වික්‍රමසිංහ මහතාට සභාව ඇමතීමට අවස්ථාව ලැබුණේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ආර්ථිකය සම්බන්ධයෙන් කළ විග්‍රහයකින් පසුව වීම නිසා ඒ කතාව පදනම් කොට ගෙනම සිය කතාව ආරම්භ කරමින් ආණ්ඩුවට බරපතළ ප්‍රහාරයක් එල්ල කළා.

බදු සහනය ලැබුණු අය

මේ ආණ්ඩුව බදු සහන දුන් බව සැබෑවක් බව ප්‍රකාශ කළ වික්‍රමසිංහ මහතා " ලොකු මිනිස්සුන්ට බදු සහන දුන්නා , පොඩි මිනිස්සුන්ට බඩගින්න දුන්නා " යයි ප්‍රකාශ කළා.

තමාට අතීතය ගැන කතා කිරීමට උවමනාවක් නැති බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා 2019 විදේශ සංචිතවල තිබූ මුදල් ප්‍රමාණය සභාවට මතක් කර දුන්නා.

2019 තිබූ විදේශ සංචිත

ඒ වර්ෂයේ ඇමරිකානු ඩොලර් කෝටි 700ක් තිබූ බවත් එය අද ඇමරිකානු ඩොලර් කෝටි 400 දක්වා අඩු වී ඇති බවද පෙන්වා දුන්නා.

මේ මස අවසන් වන විට ඇමරිකානු ඩොලර් කෝටි 100 (රු. කෝටි 20000) ණයක් ගෙවීමට තිබෙන බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල , මංගල දේශයෙන් ලැබීමට නියමිත ණය ගැනත් සඳහන් කළ වික්‍රමසිංහ මහතා එම මුදල්වලින් රටක් කරන්නේ කෙසේදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරා.

අතීතය ගැන කතා කිරීමෙන් පලක් නැහැ

අද තියෙන්නෙ අතීතය ගැන කතා කරන එක නොව මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කෙසේදැයි යන්න පිළිබඳ අවධානය යොමු කිරීම බවද වික්‍රමසිංහ මහතා සභාවට මතක් කර දුන්නා.

ඒ සඳහා යොදන විසඳුම සාර්ථක කර ගැනීමට යන කාලය පිළිබඳ නිශ්චිතව සඳහන් කළ නොහැකි බවත් ඒ සඳහා වසරක සිට වසර 10 දක්වා කාලයක් ගත විය හැකි බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා ඒ සඳහා වූ වැඩ පිළිවෙළක් ඉදිරිපත් කොට නොමැති බවටද ආණ්ඩුවට චෝදනා කලා.

ප්‍රජාතන්ත්‍රවාදී රජයක ප්‍රධාන අංශ තුනක් තිබෙන බව පෙන්වාදුන් වික්‍රමසිංහ මහතා ඒ දේශපාලන අධිකාරිය , සිවිල් බලය හා හමුදා බලය බවයි හඳුන්වා දෙන්නේ.

රට පාලනය කරන්නේ හමුදාව

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා යටතේ තිබෙන කොවිඩ් මර්දන බලකායේ අසාර්ථකභාවය සෞඛ්‍ය ඇමතිවරිය ගේ කතාවෙන් සනාථ වන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

හමුදා බලය තියෙන්නේ යුද්ධයට යෙදවීමට බවත් එහෙත් අද සිදුව තිබෙන්නේ හමුදාව රටේ පාලනයට සම්බන්ධ වී සිටීම බවටත් චෝදනාවක්ද ආණ්ඩුවට එල්ල කරනවා.

එය වැරදි බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා ආයෝජන මණ්ඩලයේ රැස්වීමට මුදල් අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා සිටිය යුතු මුත් එතනට හමුදාපති ඇවිත් කතා කිරීම නිසා එතන සිටි අයත් එතැනින් ඉවත්ව ගිය බව වික්‍රමසිංහ මහතා හෙළිදරව් කළේ සභාවේ නිහඬතාවය මැදය.

ආණ්ඩුවට ලැබුණු ජනතා වරම භාවිතා නොකොට එය හමුදාවට බාරදී රට අර්ධ හමුදාකරණයකට ලක් කොට තිබීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

සෑම පාර්ශවයම නිහඬව සවන් දීම

වික්‍රමසිංහ මහතා ආණ්ඩුව විවේචනය කළද ඊට ආණ්ඩු පාර්ශවයෙන් කිසිදු විරෝධතාවයක් නොනැගුණු අතර විපක්ෂය ද ඔහුගේ කතාවට සාවධානව සවන්දුන් අයුරුයි දක්නට තිබුණේ.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 23 June 2021 17:24