April 27, 2024

"අයියයි මල්ලියි දෙන්නම වගකීම භාරගන්න ඕන" - ආණ්ඩුවෙන්ම ආණ්ඩුව තුළට ප්‍රහාරයක්

මේකට වඩා ඒක අමාරුයි


වර්තමාන ආණ්ඩුව විසින් තෙල් මිල වැඩි කළ විට ට්‍රැක්ටර් ආදියෙන් පාර්ලිමේන්තු පැමිණ විරෝධතා දක්වන පිරිස් ආණ්ඩු බලය හොබවන සමයේ දැනටත් වඩා දුෂ්කර තත්ත්වයක් තිබූ බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ඔහු සිහිපත් කළේ එකල කීයකටවත් මිලට ගැනීමට තෙල් නොතිබුණු අවස්ථා ද පැවැති බවයි.

එම අවස්ථාවේ දී තෙල් නැව පැමිණෙන තෙක් සියළු දෙනා බලා සිටි බවත්, ජනතාව ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම්වල සිටි බවත් ඔහු ප්‍රකාශ කළා.

ආණ්ඩුව තුළටම ප්‍රහාරයක්

එවැනි තත්ත්වයක් උදා කිරීමට සම්බන්ධ පුද්ගලයින් වර්තමාන ආණ්ඩුව තුළ ද සිටින බවත්, ඔවුන් ආණ්ඩු පක්ෂය තුළ සිටියත් අදටත් එම සිද්ධියට වගකිව යුතු බවත් අබේගුණවර්ධන අමාත්‍යවරයා පවසා සිටියා.

තමන් ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු වුව ද එය කිව යුතු බව යි ඔහු කියා සිටියේ.

වසර 05ක් රට අන්ධකාරයේ තැබීමේ වගකීම පසුගිය රජයේ ප්‍රධානීන් වූ මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම භාරගත යුතු බවයි රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කළේ.

අයියයි මල්ලියි

“මම ආණ්ඩු පක්ෂ ඇමතිවරයෙකු වුණත් මම කියනවා, අද ආණ්ඩු පක්ෂයේ හිටියත් ඒකට සම්බන්ධ ඒ අයත් වග කියන්න ඕනෙ. එහෙම නැතුම මේක බෙදලා වෙන්කරන්න ඕනෙ නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, හෙට පාර්ලිමේන්තුවට එන්න ඉන්න රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා. අයියයි මල්ලියි. මේ දෙන්නම තමයි මේ වගකීම භාරගන්න ඕන. අවුරුදු පහක් මේ රට අන්ධකාරයේ තිව්වා”

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු විසින්ම මෙලෙස චෝදනාවට ලක් කරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවන විට ආණ්ඩුවට සහය පළ කරමින් සිටින අතර එම පක්ෂයේ කිහිපදෙනෙකු අමාත්‍ය ධූර ද දරනවා.

ඔවුන් පසුගිය යහපාලන ආණ්ඩුව තුළ ද අමාත්‍ය ධූර දැරූවන් වීම විශේෂත්වයක්.

ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්ණ

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ තම පක්ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් ගැටළු ගණනාවක් ඇති බවයි.

ගැටුමකට නොයා ඒවා විසඳා ගැනීමට හැකි තාක් උත්සහ දරණ බව ද ඔහු පවසා සිටියා.

එමෙන්ම ආණ්ඩුවට සම්බන්ධ ප්‍රධාන පක්ෂයවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමතරව ආණ්ඩුවට සහය පළ කරන කුඩා පක්ෂ වෙත පසුගිය දින ගණනාව පුරාම ආණ්ඩුව තුළින්ම කෙනෙහිළිකම් සිදුවන බවට මේවන විට මත පළ වෙමින් පවතිනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රෝහිත අබේගුණවර්ධන මහතා ඉහත අදහස් පළ කළේ මෙවැනි වාතාවරණයක දී වීම විශේෂයෙන් කැපී පෙනෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 June 2021 09:54

Related items