May 13, 2024

රනිල්ට පක්ෂය ඇතුලෙන්ම දෝස්මුරයක්! මන්ත්‍රී ධූරයේ අයිතිකාරයා කරළියට එයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට හිමිවු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සඳහා නම් කිරීමට අදාළ ලියකියවිලි මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත යවා ඇතැයි වාර්තා වනවා.

මේ අතර එජාප මන්ත්‍රී ධූරය පිළිබඳ අදහස් දක්වමින් හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසන්නේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හිමි විය යුත්තේ තමාට බවයි.

එජාප ජාතික ලැයිස්තුවේ මුලින්ම තමාගේ නම සඳහන් කර තිබියදී එය නොසලකා හරිමින් පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය රනිල් වික්‍රමසිංහ ලබා ගැනීම හරහා පරාජය වූ අය පාර්ලිමේන්තු නොයවන බවට වූ ප්‍රතිපත්තිය කඩා බිඳ දමා ඇතැයි  අමරතුංග මහතා චෝදනා කරනවා.

මැතිවරණයට ඉදිරිපත් වී පරාජය නොවූ තමන්ට එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හිමිවිය යුතු බවට ස්ථාවරයේ තමා සිටි බවත් එදා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට තමාගේ නම ඉදිරිපත් නොකලා නම් මැතිවරණයට ඉදිරිපත් වීමේ අදහසින් පසුවූ බවත් ඔහු පෙන්වා දෙනවා.

මේවන විට තමාව රවටා ඇති බවයි ජෝන් අමරතුංග මහතා සඳහන් කළේ.

ගැසට් නිවේදනයට සියල්ල සුදානම්

පසුගිය වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමිවු පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය සඳහා එම පක්ෂය විසින් පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතාව යෝජනා කර තිබුණා.

2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමි වුයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරයක් පමණයි.

දීර්ඝ කාලයක් පුරා පැවති එම පක්ෂයේ සාකච්ඡාවල ප්‍රතිඵලක් ලෙස එම මන්ත්‍රි ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබුණා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා විසින්, තම පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නායක රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් නම් කරන බවට සඳහන් කරමින් අදාළ ලේඛන පෙරේදා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දුන්නා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට හිමිවු මන්ත්‍රි ධූරය සඳහා නම් කිරිමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන බවයි.

මැතිවරණ කොමසාරිස් නිමල් ජී පුංචිහේවා මහතා පවසන්නේ අද දහවල් පැවැත්වෙන රැස්වීමකින් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ගැසට් කිරීම සඳහා යොමු කරන බවය.

Rate this item
(1 Vote)
Last modified on Friday, 18 June 2021 15:24