May 19, 2024

රට විවෘත කිරීමට සූදානම්! සෞඛ්‍ය අංශ තීන්දුව එයි

ජුනි 16 වනදා කොවිඩ් මරණ 51ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,425ක්. ඊයේ (17) දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 526 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 

දෛනික කොවිඩ් මරණ 50 ඉක්මවයි

ඊයේ දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,361ක්. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 233,053ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මෙලෙස 2000 ඉක්මවූ කොවිඩ් ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේත් දෛනිකව කොවිඩ් මරණ 50 ඉක්මවා වාර්තා වන්නේත් සංචරණ සීමා ඇති පනවා ඇති පසුබිමකයි.

මෙලෙස සංචරණ සීමාවලින් ද ඉවත් වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් සකස් කර තිබෙනවා.

රට අරින්න මාර්ගෝපදේශ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ සංචරණ සීමාවලින් ඉවත් වීමට අදාළ ක්‍රමෝපායන් සකස්කර ඇති බවයි.

මෙම ක්‍රමෝපායන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙන බවද ඔහු සඳහන් කළා.

නීතියෙන් කිරීමට වඩා ජනතාව මෙහි ඇත්ත වගකීම තේරුම් ගෙන සංචරණ සීමා ආරක්ෂා කර ගැනීම වැදගත් බවත් එසේ නැතුව මුර කිරීමේ ක්‍රියාවලිය සාර්ථක නොවන බවත් හේරත් මහතා පවසනවා.

මුර කිරීමේ ක්‍රියාවලිය බර වුණත් සෞඛ්‍ය අමාත්‍යාංශයට එය නොපවරන ලෙස ඉල්ලා සිටි විශේෂඥ වෛද්‍යවරයා අනෙකුත් ආයතනද මෙහි වගකීම බාරගත යුතු බවත් කියා සිටියා.

දෝෂ දර්ශන පමණක් සෞඛ්‍ය සේවයට එල්ල වුවහොත් සෞඛ්‍ය සේවකයන් මේ දක්වා කරපු කැප කිරීම්වලටත් එය හොඳ නැතැයි හේමන්ත හේරත් මහතා පෙන්වා දෙනවා.

සංචරණ සීමා දැඩි කරන්න

පොලීසිය පවසන්නේ සැලකිය යුතු පිරිසක් කොවිඩ් ව්‍යාප්තියක් තිබියදී සංචරණ සීමා කඩ කරමින් සිටින බවයි.

මේ තත්වයනේ සංචරණ සීමා පැනවීමෙන් ප්‍රථිපලයක් නොමැති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.

21 වැනිදා රට විවෘත කිරීමට කටයුතු කරන්නේ නම් තවදුරටත් සංචරණ සීමා දැඩි කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Rate this item
(3 votes)
Last modified on Saturday, 19 June 2021 09:36