May 13, 2024

රනිල් එක්ක නවක මන්ත්‍රීවරුන් 70ක් දිවුරුම් දෙයි

සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපන ලද පළාත් පාලන මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනකු වෙනුවට පත් කළ මන්ත්‍රීවරුන් ලබන 22 වනදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

මේ අතර පක්ෂය විසින් නම් කළ නවක මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු කෙරෙයි.

සමගි ජන බලවෙිගයට සහය දැක්වූ මන්ත්‍රීවරුන් 69 දෙනෙකු ධුරවලින් ඉවත් කිරීම වළක්වන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඒ වෙනුවට නවක මන්ත්‍රීවරුන්ට මෙලෙස පත්වීම් ලබාදෙන බවයි එජාප මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

රනිල් 23 වැනිදා දිවුරුම් දෙයි

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන 23 වැනිදා පෙරවරු 10.00ට කතානායක ඉදිරියේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිතයි.

මන්ත්‍රීධුරයට අදාල ගැසට් නිවේදය නිකුත් කිරීම සඳහා ඒ මහතාගේ නම මැතිවරණ කොමිසමට පක්ෂය විසින් යවා තිබෙනවා. 

Rate this item
(4 votes)
Last modified on Thursday, 17 June 2021 15:31